පිළිකා සහ හෘද රෝග සඳහා වන ඖෂධ ඇතුළු රුපියල් කෝටියක නීති විරෝධී ඖෂධ තොගයක් වටලයි

පිළිකා සහ හෘද රෝග සඳහා වන ඖෂධ ඇතුළු රුපියල් කෝටියකට අධික නීති විරෝධී ඖෂධ තොගයක් තිබූ කොළඹ හැව්ලොක් ටවුන්හි ගබඩාවක් පාරිභෝගික කටයුතු පිළිබ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් වටලා ඇත.

නීත්‍යානුකූල ආනයන බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද, පිළිකා සහ හෘද රෝග සඳහා වන ඖෂධ ඇතුළු විවිධ වර්ගයේ ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් ගබඩා කරගෙන සිටි කොළඹ හැව්ලොක් ටවුන් (Havelock Town) ප්‍රදේශයේ ස්ථානයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊටේ (05) වැටලීමට ලක්කරන ලද බව එම අධිකාරිය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

නිලධාරීන් විසින් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ ආයතනය නීත්‍යානුකූලව ඖෂධ ආනයනය කිරීමට බලපත්‍රයක් නොමැතිව, මගී ගමන් මලු (Baggage) ඔස්සේ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කරන මෙම ඖෂධ තොග වශයෙන් (Wholesale) සහ සිල්ලර වශයෙන් (Retail) අලෙවි කර ඇති බවයි.

මෙම වැටලීමේදී වර්ග 100කට (Categories 100) අධික විවිධ ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් සොයාගෙන අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 10ක් (කෝටියක්) ඉක්මවන බව විමර්ශන නිලධාරීන් පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු දැනටමත් ක්‍රියාත්මක වන අතර, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ අදාළ ව්‍යාපාරිකයන්ට එරෙහිව තදින්ම නීතිමය පියවර ගැනීමට කටයුතු යොදා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website