දෙහිවල නිසල සෙවණ සුසාන භූමිය තුළදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට

2026.07.19 වන දින දෙහිවල පොලිස් වසමේ නිසල සෙවණ සුසාන භූමිය තුලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඉහත අපරාධයන්හි වෙඩික්කරු ලෙස කටයුතු කළ සැකකරු සහ අපරාධයට ආධාර අනුබල දුන් කාන්තාවක් 2026.08.02 දින මිහින්තලය පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අපරාධ සඳහා භාවිත කළ ජංගම දුරකථන 02 ක්, ගමන් බෑගයක්, අපරාධ සිදුකිරීම වෙනුවෙන් සැකකරුට ලබා දී තිබූ බවට සැකකරන රුපියල් 280,000/= ක (දෙලක්ෂ අසූදාහක) මුදල බැංකු ගත කරන ලද ගිණුම් වලට අදාල ATM කාඩ්පත් 02 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු අවුරුදු 47 ක් වන මිහින්තලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාරිය අවුරුදු 35 ක් වන පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෙම අපරාධයේ යතුරුපැදිකරු ලෙස ක්‍රියා කළ සැකකරු 2026.07.26 දින මිරිහාන පොලිස් වසමේ දෙල්කඳ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website