ප්‍රාදේශීය පරිපාලන ඒකක සංවර්ධන ඒකක බවට පරිවර්තනය කිරීමේ සැලැස්මක් සකස් කරන්න – ජනපති

ප්‍රාදේශීය වශයෙන් සමාජ සහ ආර්ථික දියුණුව ළඟා කරගත හැකි අන්දමින් ප්‍රාදේශීය පරිපාලන ඒකක සංවර්ධන ඒකක බවට පරිවර්තනය කිරීමේ සැලැස්මක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙරට දැනට ක්‍රියාත්මක පරිපාලන ක්‍රමයට දශක ගණනාවක් ගතව තිබුණ ද ජනතාවගේ බොහෝ ගැටලුවලට විසඳුම් ලැබී නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සුළු සංශෝධන කරමින්, පවතින ක්‍රමයම ඉදිරියට පවත්වාගෙන යා හැකි වුවද, මේ රටේ ජනතාවගේ අපේක්ෂාව සමස්ත පරිවර්තනයක් බව ද පෙන්වා දුන්නේය.

එම කාර්යය එකවර සිදු කළ නොහැකි වුවත්, පරිපාලන ක්ෂේත්‍රය තුළ ඒ පිළිබඳ සංවාදයක් ඇති කරමින් ඊට මුලපිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන

අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවකට අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය පරිපාලන අංශය, ස්වදේශ කටයුතු අංශය සහ පළාත් පාලන අංශය වෙනුවෙන් 2026 අයවැයෙන් වෙන් කරන ලද රුපියල් මිලියන 60,430.04 ක ප්‍රාග්ධන වියදම් සහ රුපියල් මිලියන 706,226.83ක පුනරාවර්තන වියදම් යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් මෙන්ම 2027 අයවැය යෝජනා පිළිබඳව මෙහිදී පුළුල් ලෙස විමසා බැලිණි.

රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ජනතාවට සපයන සේවා අතරින් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සැපයිය හැකි සේවාවන් පිළිබඳ ඉදිරි මාස කිහිපය තුළ අධ්‍යයනයක් සිදු කර වාර්තාවක් ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

අම්පාර, මඩකලපුව, කෑගල්ල, පොළොන්නරුව යන දිස්ත්‍රික් ලේකම් කාර්යාල සංකීර්ණවල සිදු කෙරෙන ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය සහ කලුතර, පිටබැද්දර, අගුණකොළපැලැස්ස, රත්මලාන, කෝට්ටේ සහ කොළොන්නාව ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

මේ වන විට රට පුරා ඌන උපයෝජිත ගොඩනැගිලි ඉදිකිරීම් 2000කට අධික සංඛ්‍යාවක් පවතින බව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන් අතර, දැනට පවතින සියලු ඉදිකිරීම්වල අවශ්‍යතාව පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදු කර අත්‍යාවශ්‍ය ඉදිකිරීම් සඳහා පමණක් ප්‍රමුඛතාව ලබා දෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

පළාත් සභා සහ පළාත් පාලන අංශය යටතේ රජයේ අරමුදල් සහ විදේශ ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ගැණුනු අතර මහ කොළඹ අපජල කළමනාකරණ ව්‍යාපෘතියේ කටයුතු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. 2015 වසරේ සිට වරින් වර ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සහ කොළඹ නගර සභා බල ප්‍රදේශයට අදාළ සමස්ත ජලාපවහන පද්ධති පිළිබඳ අදාළ සියලු ආයතන ඒකාබද්ධව සාකච්ඡා කර සැලැස්මක් සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක 1927 වසරේ ආරම්භ කළ ණය සංවර්ධන අරමුදල පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

පළාත් පාලන ආයතනවලට අයත් ග්‍රාමීය කුඩා පාලම් සංවර්ධන ව්‍යාපෘතිවල මෙම වසරේ ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනය කෙරුණු අතර ග්‍රාමීය කුඩා පාලම් සංවර්ධනය වෙනුවෙන් 2026/2029 වර්ෂ සඳහා රුපියල් මිලියන 6793ක ප්‍රතිපාදන වෙන් කිරීමට නියමිත අතර, ඒ අනුව 2026 වසරේ වෙන් කෙරුණු රුපියල් මිලියන 1050ක ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතින්හි 29%ක ප්‍රගතියක් ලබා ඇති බව සඳහන් කෙරිණි. මෙම වැඩසටහන සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල අවශ්‍යතාව සලකා බලා ග්‍රාමීය පාලම් ඉදිකිරීම් ව්‍යාපෘති වඩාත් කාර්යක්ෂමව ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

එමෙන්ම, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සහ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර 750,000 ක පමණ පිරිසක් මේ වන විට විශ්‍රාම වැටුප් හිමිකම ලබා ගන්නා බව මෙහිදී අනාවරණය කෙරිණි.

අමාත්‍යවරුන් විසින් නිල නිවාස ලෙස භාවිතා කරනු ලැබූ බංගලා සහ නිවාස ආර්ථිකමය වශයෙන් ඵලදායී

කාර්යයන් සඳහා යෙදවීම වෙනුවෙන් සකස් කර ඇති වැඩසටහනේ ප්‍රගතිය ද විමසා බැලු ජනාධිපතිවරයා, එම සම්පත්වලින් නිසි ප්‍රයෝජන ලබා ගැනීම වෙනුවෙන් එම කටයුතු කඩිනම් කරන ලෙස ද උපදෙස් දුන්නේය.

පළාත් පාලන ආයතනවල කටයුතු පවත්වාගෙන යාමේදී මතුව ඇති ගැටලු පිළිබඳව ද මෙහිදි අවධානය යොමු කෙරුණු අතර යන්ත්‍ර සූත්‍ර ලබා ගැනීම, ආදායම් උත්පාදන කාර්යයන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. අනෙකුත් පොදු සේවාවන්වලදී රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ලබා දෙන දායකත්වය වඩා විධිමත් කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර පළාත් පාලන ආයතනවලට අවශ්‍ය පොදු පහසුකම් ලබා දීම, අලුතින් බඳවා ගන්නා නිලධාරීන්ට අවශ්‍ය පුහුණුව ලබා දීම ඇතුළු කටයුතු වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමු විය. ‍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website