ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ 2027 අයවැය පූර්ව සාකච්ඡා ජනපති ප්‍රධානත්වයෙන්

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය යටතේ ඇති ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව (DFAR), ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA), ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA), ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව (CFHC), ලංකා ධීවර සංස්ථාව (CFC), සීනෝර් පදනම, මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ඇතුළු ආයතන විසින් 2026 වසරේ සිදු කරන ලද පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම්වල ප්‍රගතිය පිළිබඳ මෙහිදී පුළුල් ලෙස විමසා බැලිණි.

මෙරට මත්ස්‍ය නිෂ්පාදන ඉහළ නැංවීම සහ අපනයනය, ජනතාවගේ ප්‍රෝටින් අවශ්‍යතාව තහවුරු කිරීම සහ ධීවර ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වැඩසටහන්හි ප්‍රගතිය සහ 2027 වසරේ සැලසුම් පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

එමෙන්ම, මයිලඩි ධීවර වරාය සංවර්ධන ව්‍යාපෘතිය, ගන්දර ධීවර වරායේ සංවර්ධන කටයුතු, රැකව ධීවර නැංගුරම්පොළ ඉදි කිරීම, කරෛයිනගර් බෝට්ටු අංගනය නවීකරණය සහ ප්‍රතිසංස්කරණය ඇතුළු ප්‍රධාන ව්‍යාපෘතිවල සහ ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක පර්යේෂණ සහ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳව ද සාකච්ඡා විය.

එමෙන්ම, දිට්වා ආපදාවෙන් විනාශ වූ ධීවර වරාය ඉදිකිරීම මෙන්ම ධීවර ජනතාවගේ ජීවනෝපාය මාර්ග යථාවත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතිය සහ පීඩාවට පත් ධීවර ජනතාවට බෝට්ටු සහ දැල් ආම්පන්න ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 189ක ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතියේ ප්‍රගතිය ද ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලීය.

තවද, ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ක්‍රියාත්මක භාවිතයෙන් ඉවත් කළ බෝට්ටු සහ අනෙකුත් ෆයිබර් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ද අවධානය යොමු කරනු ලැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website