මීගමුව බන්ධනාගාරයේ සිදු වූ මාරාන්තික ප්රචණ්ඩත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා දැඩි ශෝකය පළ කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනය මඟින් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතියට නව ආයෝජන අවශ්‍ය බව පවසන අතර සිද්ධිය විමර්ශනය කිරීම සඳහා ස්වාධීන කමිටුවක් පත් කිරීම පිළිබඳව සිය ප්‍රසාදය පළ කර ඇත.
සිද්ධියෙන් මියගිය අයගේ පවුල්වලට එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය ශෝකය පළ කළ අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.
බන්ධනාගාර නිලධාරීන් රාජ්‍යයේ සහ මහජනතාවගේ සේවය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවත්, රැඳවියන් රාජ්‍යයේ රැකවරණය සහ ආරක්ෂාව යටතේ සිටින බවත්, බන්ධනාගාර කාර්ය මණ්ඩලය සහ සිරකරුවන් යන දෙපිරිසම වැඩි ආරක්ෂාවක් ලැබිය යුතු බවත් එම නිවේදනයේ සඳහන් විය.
මෙම ඛේදවාචකය ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ අඛණ්ඩ ආයෝජන අවශ්‍යතාවය අවධාරණය කරන බවත්, අධික තදබදය, යල් පැන ගිය පිළිවෙත් සහ දුර්වල රැඳවුම් තත්වයන් වැනි දිගුකාලීන ගැටලු ඉස්මතු කරන බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් විය.
ජාත්‍යන්තර මානව හිමිකම් ප්රමිතීන් යටතේ ශ්‍රී ලංකාවේ කැපවීම්, නිදහස අහිමි වූ පුද්ගලයින්ගේ සැලකීම, ආරක්ෂාව සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා වැදගත් රාමුවක් සපයන බවත් එක්සත් ජාතීන් තවදුරටත් පැවසීය.
සිද්ධිය වටා ඇති තත්වයන් විමර්ශනය කිරීම සඳහා ස්වාධීන කමිටුවක් පිහිටුවීමට රජය ගත් තීරණය එක්සත් ජාතීන්ගේ සංවිධානය ද පිළිගත් අතර, එහි සොයාගැනීම් බන්ධනාගාර තත්ත්වයන්හි කල් පවතින දියුණුවට දායක වනු ඇතැයි බලාපොරොත්තුව පළ කළේය.













