රාජ්‍ය ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය සහ IMF අතර විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම් පද්ධතිය නවීකරණය කිරීම අරමුණු කරගනිමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය (RARMB) සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, පසුගිය දා ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී පසුගිය වසරක කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ බදු පද්ධතිය, රේගු ක්‍රමවේද, සුරාබදු කළමනාකරණය සහ සමස්ත රාජ්‍ය ආදායම් ආකෘතිය මධ්‍යකාලීන උපායමාර්ගික සැලැස්මක් )MTRS – Medium Term Revenue Strategy) යටතේ ක්‍රියාත්මක වූ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සිදු කෙරිණි.

ඊට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟද විශේෂ සාකච්ඡා පවත්වනු ලැබීය.

ඒ අනුව ඩිජිටල් ව්‍යාපෘති සඳහා ක්‍රියාත්මක සැලසුම්, දත්ත ඒකාබද්ධ කිරීම වේගවත් කිරීම, මානව සම්පත් හා නායකත්ව පුහුණු වැඩසටහන් සහ බදු පදනම පුළුල් කිරීමේ තිරසාර ක්‍රමවේද පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ගේ විශේෂ අවධානය යොමු කෙරුණ අතර එම ක්‍රියවලියේදී RARMB කාර්යාංශය “ශක්තිමත් පාලන රාමුවක් සහිත ප්‍රතිසංස්කරණ කේන්ද්‍රයක්” ලෙස කටයුතු කර ඇති බවට ඇගයීමට ද ලක් විය.

මෙහිදී ශ්‍රී ලංකා රේගුව, දේශිය ආදායම් බදු සහ සුරාබදු යන දෙපාර්තමේන්තුවලට අදාළව ක්‍රියාත්මක කෙරෙන ‍මෙම වැඩපිළිවෙල සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අඛණ්ඩ තාක්ෂණික සහ උපදේශන සහාය ලබාදීමට එකඟතාව පළ විය.

2025 වසරේ මුල් භාගයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මූලිකත්වයෙන් සහ කැබිනට් අනුමැතිය යටතේ ස්ථාපිත කරන ලද RARMB කාර්යාංශයේ මූලික අරමුණු වන්නේ රාජ්‍ය ආදායම් එකතු කිරීම නවීකරණය කිරීම, බදු පරිපාලන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, නීතිමය හා ආයතනික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සහ දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුව, රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කර කළමනාකරණය කිරීමයි.

ඒ අනුව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ ව්‍යුහගත ප්‍රතිසංස්කරණ වශයෙන් එහි ශාඛා Medium Corporate, Metro සහ Regional කාර්යාල ලෙස නැවත සංවිධානය කිරීමෙන් පසු බදු අනුකූලතාව 40–45% සිට 70–75% දක්වා ඉහළ නංවා ගැනීමට සමත් වී ඇත.

තවද දශක ගණනාවකට පසු ශ්‍රී ලංකා රේගු නීතිය සංශෝධනය කිරීම සඳහා නව කෙටුම්පතක් සකස් කර නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත. ඊට අමතරව බදු ගාස්තු ව්‍යුහය සරල කිරීම, කඩදාසි රහිත ක්‍රමවේද හඳුන්වාදීම (Paperless process), අපනයනකරුවන් සඳහා පහසුකම් වැඩිදියුණු කිරීම ද ඉදිරියේදී ක්‍රියාත්මක විමට නියමිතය.

එසේ ම සුරාබදු දෙපාර්තමේන්තු ප්‍රතිසංස්කරණ යටතේ නව සුරාබදු කළමනාකරණ පද්ධතියක් හඳුන්වාදීම තුළින් එම දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය නවීකරණය කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතී.

RARMB යටතේ රේගුව හා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව අතර ඒකාබද්ධ සම්බන්ධීකරණ පද්ධතියක් පිහිටුවා තිබේ. ඒ යටතේ දත්ත හුවමාරුව, ඒකාබද්ධ අවදානම් කළමනාකරණය, ඒකාබද්ධ විගණන, ආනයනකරුවන්ගේ බදු අනුකූලතාව පරීක්ෂා කිරීම යන කාර්යයන් එකම ක්‍රමවේදයකින් සිදුකිරීමට සැලසුම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website