ළමයින්ගේ ආරක්ෂාව යනු එක් ක්ෂේත්‍රයකට පමණක් සීමා වූ කරුණක් නොවේ – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

සෑම දරුවෙකුටම ආරක්ෂිත වටපිටාවක අධ්‍යාපනය ලබමින්, තම හැකියාවන් වර්ධනය කර ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම අපගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.

දකුණු ආසියානු කලාපයේ ළමුන්ට එරෙහි හිංසනය අවසන් කිරීම පිළිබඳ අමාත්‍ය සමුළුවේ (South Asia Ministerial Conference on Ending Violence against Children (EVAC) සමාරම්භක අවස්ථාවට එක්වෙමින් (ජුනි 23 දින) අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.

ජුනි 23 සහ 24 දෙදින පුරා පැවැත්වෙන මෙම කලාපීය සමුළුව හරහා දකුණු ආසියාව තුළ ළමුන්ට එරෙහිව සිදුවන හිංසනය තුරන් කිරීම සඳහා දේශපාලනික පසුබිම ශක්තිමත් කිරීම, මෙතෙක් ලබාගෙන ඇති ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරේ.

දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානය (SAARC) විසින්, දකුණු ආසියාව සඳහා වන යුනිසෙෆ් කලාපීය කාර්යාලය (UNICEF ROSA), ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු සහ නැගෙනහිර මධ්‍යධරණී කලාපීය කාර්යාලය (WHO SEARO/EMRO), සහ ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහලේකම් විශේෂ නියෝජිත කාර්යාලය (OSRSG-VAC) සමඟ එක්ව සංවිධානය කරන මෙම සමුළුව කලාපයේ අමාත්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ සංවර්ධන හවුල්කරුවන්ගේ සහභාගිත්වයෙන් සිදු වන අතර වැරදි සමාජ සම්මත, ළමා විවාහ, ළමා ශ්‍රමය සූරාකෑම, දත්ත විෂමතා, සම්පත් සීමා සහ සමාජ මාධ්‍ය ඇතුළු නව තාක්ෂණික මෙවලම් හරහා සිදුවන ප්‍රචණ්ඩත්වය, අපයෝජනය සහ සූරාකෑම වැනි නැගී එන අභියෝගවලට විසඳුම් සෙවීම කෙරෙහි ද අවධානය යොමු කරනු ඇත.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ළමුන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය රටින් තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාව ව්‍යුහාත්මක ප්‍රවේශයකට පිවිස ඇති බවත් ළමා ආරක්ෂාව හුදෙක් එක් ක්ෂේත්‍රයකට පමණක් සීමා වූ කරුණක් නොව, රටේ පුළුල් සංවර්ධන, යහපාලන සහ සමාජ සාධාරණතා න්‍යාය පත්‍රය තුළ අන්තර්ගත ජාතික ප්‍රමුඛතාවයක් වන බවත් අවධාරණය කළාය.

රටේ අධ්‍යාපන පද්ධතිය දරුවන් සඳහා අධ්‍යාපනය ලබා දෙනා ස්ථානයකට පමණක් සීමා නොවී ළමායාගේ ආරක්ෂාව සහතික කරන සුවිශේෂී ස්ථානයක් වන බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, “අධ්‍යාපන පද්ධතිය ළමුන් බලගන්වන සුවිශේෂී පරිසරයක් නිර්මාණය කරනවා. පාසල් යනු ඉගෙනුම් ඉගැන්වීම් සඳහා සීමා වූ ස්ථාන පමණක් නොවේ, හානිකර තත්ත්වයන් කල්තියා හඳුනා ගනිමින්, මනෝසමාජීය සහාය ලබාදෙමින් දරුවන්ගේ ආරක්ෂාව සඳහා කැපවෙන වැදගත් ස්ථාන වනවා. උපදේශන සේවා සහ ආරක්ෂණ ක්‍රියාමාර්ග ඇතුළු පාසල් මට්ටමේ ළමා ආරක්ෂණ පද්ධති ශක්තිමත් කිරීමට අපි කැපවී සිටිනවා. ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේදී කලාපීය සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යතුමිය, ළමා ආරක්ෂාව සම්බන්ධ අභියෝග ජාතික සීමාවන් ඉක්මවා යන බැවින් ඒවාට විසඳුම් සෙවීම සඳහා සාමූහික ක්‍රියාමාර්ග, අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ කලාපීය රටවල් අතර අඛණ්ඩ සහයෝගීතාව අත්‍යවශ්‍ය වන බව සඳහන් කළාය.

මෙම අවස්ථාවට සාක් සංවිධානයේ මහලේකම් Md. Golam Sarwar, ශ්‍රී ලංකාවේ යුනිසෙෆ් නියෝජිත Emma Brigham, ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහලේකම්ගේ විශේෂ නියෝජිත Najat Maalla M’jid, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය නාමල් සුදර්ශන (පා.ම.) යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ දේශීය හා ජාත්‍යන්තර නියෝජිතයින් රැසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website