ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අවුරුදු 23න් පහළ අන්තර් ක්‍රීඩා සමාජ දෙදින ක්‍රිකට් තරගාවලිය ජූනි මස 21 වැනිදා ආරම්භ වූ අතර, දේශීය වයස් කාණ්ඩ ක්‍රිකට් දින දසුනේ ප්‍රධාන තරගාවලියක් ලෙස සැලකෙන මෙම තරගාවලිය සඳහා දිවයින පුරා ක්‍රීඩා සමාජ 26ක් එක්ව සිටිති.
කණ්ඩායම් 26ක් කාණ්ඩ 4ක් යටතේ මෙවර තරගාවලියට එක්ව ඇති අතර මූලික වටයේ තරග ජුනි 21 වැනිදා සිට ජූලි 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. මූලික වටය අවසානයේ එක් එක් කාණ්ඩයේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක බැගින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.
අර්ධ අවසන් පූර්ව වටයේ තරග ජූලි 26 සහ 27 දෙදින තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර අවසන් පූර්ව වටයේ තරග ජූලි 31 සහ අගෝස්තු 1 යන දිනවලදී ක්‍රියාත්මක වේ. තරගාවලියේ අවසන් මහ තරගය අගෝස්තු 5 සහ 6 දෙදින තුළ පැවැත්වීමට නියමිතය.
මෙවර තරගාවලියේ ‘A’ කාණ්ඩය යටතේ බ්ලූම්ෆීල්ඩ්, මුවර්ස්, රාගම, බදුරලිය, එන්.සී.සී. සහ ටැමිල් යුනියන් කණ්ඩායම් තරග වදිති. ‘B’ කාණ්ඩයට සී.සී.සී. චිලව් මේරියන්ස්, ගාල්ල, ලියෝ, සෙබස්තියනයිට්ස් සහ මොරටුව යන කණ්ඩායම් ඇතුළත් වේ.
නුගේගොඩ, ඒස් කැපිටල්, බී.ආර්.සී, නාවික හමුදා, කුරුණෑගල තරුණ සහ කෝල්ට්ස් කණ්ඩායම් C කාණ්ඩය යටතේ තරග වදින අතර, ‘D’ කාණ්ඩයට නිගම්බු, එස්.එස්.සී. පානදුර, යුද හමුදා, කැන්ඩි කස්ටම්ස්, පොලිස් සහ කුරුණෑගල ක්‍රීඩා සමාජ ඇතුළත් කර ඇත.
දේශීය ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඉදිරි තරු සොයා ගැනීමේ වැදගත් වේදිකාවක් වන මෙම තරගාවලිය යොවුන් ක්‍රීඩකයන්ට දිගු ඉනිම් සහිත ක්‍රිකට් රටාවට හුරු වීමට මෙන්ම ඉහළ තරග අත්දැකීම් ලබා ගැනීමටද වැදගත් අවස්ථාවක් සලසා දෙනු ඇත.
source:srilankacricket,lk















