ශ්‍රී ලංකා යොවුන් බාළිකාවෝ ඉන්දියාවට: ‘පළමු වරට ඉන්දියාව පරාජය කිරීමත් අපේ බලාපොරොත්තුවයි’

චමුදි ප්‍රබෝධාගේ නායකත්වයෙන් සහ සංජනා කාවින්දිගේ උප නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ බාළිකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවට එරෙහිව ඉතිහාසයේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමේ අධිෂ්ඨානයෙන් මෙවර ඉන්දීය සංචාරය සඳහා අද (17 දා) පස්වරුවේදී පිටත්ව ගියේය.

ඉන්දීය අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි-20 සහ එක්දින තරගාවලිය සඳහා පිටත්ව යෑමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ නායිකා චමුදි ප්‍රබෝධා කියා සිටියේ කණ්ඩායම මෙම සංචාරය සඳහා මාසයකට ආසන්න කාලයක් සැලසුම් සහගතව සූදානම් වූ බවයි.

“ඉන්දීය සංචාරයට පෙර අපි මාසයකට ආසන්න කාලයක් පුහුණුවීම් කළා. මෙහි සිටින ක්‍රීඩිකාවන්ගෙන් හත් දෙනෙකු පමණ මීට පෙර විදෙස් සංචාර අත්දැකීම් ලබා තිබෙනවා. ඒ අත්දැකීම් සමඟ හොඳ තරගාවලියක් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. සනුකි පතිරගේ කියන අලුත් ක්‍රීඩිකාවත් කණ්ඩායමට එක්වෙලා ඉන්නවා. බැටිං සහ බෝලිං දෙපාර්ශ්වයෙන්ම හොඳ සමබර කණ්ඩායමක් අපට තිබෙනවා“, යැයි ඇය පැවසුවාය.

ලෝක යොවුන් කාන්තා ක්‍රිකට් පිටියේ ප්‍රබලතම කණ්ඩායමක් වන ඉන්දියාව පිළිබඳව අදහස් දැක්වූ චමුදි, ප්‍රතිවාදීන්ගේ ශක්තිය පිළිගන්නා අතරම ශ්‍රී ලංකා කණ්ඩායමේ අභිලාෂයද පැහැදිලි කළාය.

“අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලි දෙකම ජයගත්තේ ඉන්දියාව. ඒ නිසා ඔවුන් අවතක්සේරු කරන්න බැහැ. නමුත් අපේ පළමු අරමුණ එක තරගයක් හෝ ජයගැනීමයි. ඒ වගේම පළමු වරට ඉන්දියාව පරාජය කිරීමත් අපේ බලාපොරොත්තුවක්,” යැයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව යෑමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී සර්ව ආගමික වතාවත්වලද නිරත වූහ.

මෙවර සංචිතයේ කැපී පෙනෙන සිදුවීමක් වන්නේ හිටපු යොවුන් නායිකාවක සහ තුන් ඉරියව් ක්‍රීඩිකාවක වන මනුදි නානායක්කාර නැවතත් කණ්ඩායමට කැඳවා තිබීමයි. පසුගිය වසර දෙකක පමණ කාලයක් ශ්‍රී ලංකා යොවුන් බාළිකා කණ්ඩායම මෙහෙයවූ මනුදි, 2025 වසරේ ඔස්ට්‍රේලියානු අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී පැවැති විස්සයි-20 තරග පහ සහ එක්දින තරගයේදීද ශ්‍රී ලංකා පිලට නායකත්වය ලබා දුන්නාය. ඇයගේ යළි එක්වීම කණ්ඩායමට අත්දැකීම් සහ ස්ථාවරත්වය එක්කරන සාධකයක් ලෙස සැලකේ.

මෙවර සංචිතයට එක්ව ඇති අනෙක් නව මුහුණ වන්නේ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ක්‍රීඩිකාවක වන සනුකි පතිරගේය.

ශ්‍රී ලංකා කණ්ඩායම, දින 15ක කාලයක් පුරා චෙන්නායි සහ පොන්ඩිචෙරි නගරවලදී පැවැත්වෙන තරග හයකින් සමන්විත මෙම තරගාවලියට එක්වනු ඇත. තරගාවලිය විස්සයි-20 තරග තුනකින් සහ එක්දින තරග තුනකින් සමන්විත වේ.

තරග කාලසටහන

  • ජූනි 22 – පළමු විස්සයි-20 තරගය (චෙන්නායි)
  • ජූනි 24 – දෙවැනි විස්සයි-20 තරගය (චෙන්නායි)
  • ජූනි 27 – තෙවැනි විස්සයි-20 තරගය (චෙන්නායි)
  • ජූනි 30 – පළමු එක්දින තරගය (පොන්ඩිචෙරි)
  • ජූලි 03 – දෙවැනි එක්දින තරගය (පොන්ඩිචෙරි)
  • ජූලි 06 – තෙවැනි එක්දින තරගය (පොන්ඩිචෙරි)

ශ්‍රී ලංකා සංචිතය – චමුදි ප්‍රබෝධා (නායිකා), සංජනා කාවින්දි (උප නායිකාව), නෙත්මි උපේක්ෂා, මනුදි නානායක්කාර, ලිමංසා තිලකරත්න, උමයංගනා පීරිස්, දනෝද්‍යා සෙව්මිණි, නෙතංගි ඉසුරංගි, ප්‍රමුදි මෙත්සරා, යෙෂාලි ජිතාරා, විමෝක්ෂ බාලසූරිය, සනුකි පතිරගේ, චමෝදි හේරත්, අසේනි තලගුණේ සහ ඩාරියා දිසානායක.

source:srilankacricket.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website