උණුසුම් තරඟයකින් පසු පළමු T20 තරඟයේ ජය කොදෙව්වන්ට

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේ අද (12 දා) පෙරවරුවේ (ශ්‍රී ලංකා වේලාවෙන්) පැවති පළමු විස්සයි20 ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ පෙරමුණ ගැනීමට සත්කාරක කොදෙව් කණ්ඩායම සමත් විය. අවසන් පන්දුවාරය දක්වා උණුසුම් තරගයක් ලෙස පැවති මෙම තරගයේදී ශ්‍රී ලංකාව ප්‍රබල සටනක් ලබා දුන්න ද නායක ශායි හෝප්ගේ සංයමයෙන් යුතු නොදැවුණු ඉනිම හමුවේ ජයග්‍රහණය කොදෙව්වන් සතු විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඒ අනුව පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 147කට සීමා විය.

ආරම්භක පිතිකරුවන් වූ පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්හ. විශේෂයෙන්ම කුසල් මෙන්ඩිස් ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වෙමින් පන්දු 23කින් ලකුණු 36ක් රැස් කළේ හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟිනි. සිව්වැනි පන්දුවාරයේදී මැතිව් ෆෝර්ඩ්ට එරෙහිව එල්ල කළ අඛණ්ඩ හයේ පහර දෙක ඔහුගේ ඉනිමේ කැපී පෙනෙන අවස්ථාවක් විය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ලකුණු 43ක් ලබා කිසිවකු නොදැවී සිටියදී තරගයේ ගමන් මඟ වෙනස් කළේ ජේසන් හෝල්ඩර් වන අතර ඔහු පස්වැනි පන්දුවාරයේදී පිට පිට පන්දු දෙකකදී පැතුම් නිස්සංක සහ ලසිත් කෘෘස්පුල්ලේ ක්‍රීඩාගාරයට හරවා යැවීය. අනතුරුව ක්‍රියාත්මක වුණු අල්සාරි ජෝසප් පවන් රත්නායක සහ නායක කුසල් මෙන්ඩිස් දවා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම අසීරු තත්ත්වයකට ඇද දැමීය.

එම අවස්ථාවේදී කණ්ඩායමේ බලාපොරොත්තුව බවට පත් වූ කමිඳු මෙන්ඩිස් ඉවසිලිවන්ත ඉනිම් ක්‍රීඩා කරමින් මැද පෙළ බිඳවැටීම වළක්වා ගත්තේය. කමිඳු පන්දු 39කින් අර්ධ ශතකයක් වාර්තා කළ අතර, දසුන් ශානක සමඟ එක්ව ඉනිම ස්ථාවර කිරීමට සමත් විය. ඔවුන් අතර ගොඩනැගුණු සබඳතාව ශ්‍රී ලංකාවට යම් පමණක ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට අවස්ථාව උදාවිය.

එහෙත් කොදෙව් පන්දු යවන්නන්, විශේෂයෙන් රොස්ටන් චේස් සහ හෝල්ඩර්, ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලකුණු ලබාගැනීම අසීරු කරමින් පීඩනයක් ඇති කළහ. අවසන් පන්දුවාර කිහිපයේදී වේගවත් ලකුණු රැස් කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වූ අතර, අවසන් පන්දුවාර 5 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 25ක් පමණක් රැස් කිරීමට හැකි විය. කමිඳු මෙන්ඩිස් අවසන් පන්දුවාරයේදී දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා ඉනිම 147කට සීමා විය.

පිළිතුරු ඉනිම ආරම්භ කළ ශායි හෝප් සහ බ්‍රැන්ඩන් කිං ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කළහ. ආරම්භක පන්දුවාර 6 තුළ ලකුණු 66ක් රැස් කළ ඔවුන් ජයග්‍රහණය සඳහා ශක්තිමත් අඩිතාලමක් දැමූහ. බ්‍රැන්ඩන් කිං පන්දු 22කින් ලකුණු 37ක් රැස් කළ අතර, ඔහුට අවස්ථා කිහිපයකදී වාසනාවද හිමි විය

කිං දැවී යාමෙන් පසුව ශ්‍රී ලංකාව නැවත තරගයට පැමිණීමට උත්සාහ කළේය. වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ මැද පන්දුවාරවලදී ලකුණු වේගය පාලනය කරමින් කොදෙව් පිතිකරුවන්ට නිදහසේ පහර දීමට ඉඩ නොදුන්හ. හසරංග ලකුණු 32කට කඩුලු 2ක් දවා ගත් අතර, තීක්ෂණ සිය පන්දුවාර 4 තුළ ලකුණු 20ක් පමණක් ලබා දුන්නේය. තරුණ වේග පන්දු යවන එෂාන් මාලිංග ද ලකුණු 26කට එක් කඩුල්ලක් දවා ගනිමින් දක්ෂතා දැක්වීය.

කෙසේ වෙතත් අනෙක් අන්තයෙන් කඩුලු වැටුණද නායක ශායි හෝප් සිය ඉනිම සංයමයෙන් ගොඩනැගීය. ෂිම්රන් හෙට්මයර්, රොස්ටන් චේස් සහ රොව්මන් පවෙල් සමඟ කුඩා නමුත් වැදගත් සබඳතා ගොඩනඟමින් ඔහු ජයග්‍රහණය කරා කණ්ඩායම රැගෙන ගියේය. පන්දු 54කින් නොදැවී ලකුණු 65ක් රැස් කළ හෝප් තරගයේ අවසානය දක්වා කඩුල්ලේ රැඳී සිටීම කොදෙව් ජයග්‍රහණයේ ප්‍රධාන සාධකය විය.

ඩිල්ෂාන් මදුශංක විසින් යවන ලද අවසන් පන්දුවාරයේදී කොදෙව්වන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 6ක් අවශ්‍යව තිබියදී රොව්මන් පවෙල් දෙවැනි පන්දුවට එල්ල කළ දැවැන්ත හයේ පහරකින් තරගය නිමා කළේය. එමඟින් කොදෙව් කණ්ඩායම කඩුලු 7ක් අතැතිව ජයග්‍රහණය වාර්තා කළේය.

තරගයේ වීරයා සම්මානය ලකුණු 18කට කඩුලු 3ක් දවා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමේ මැද පෙළ බිඳ දැමූ ජේසන් හෝල්ඩර්ට හිමි විය.

ශ්‍රී ලංකාව පන්දුවාර 20 ක් අවසනදී කඩුලු 9 ක් දැවී ලකුණු 147 යි – (කමිදු මෙන්ඩිස් 51, දසුන් ශානක 22, කුසල් මෙන්ඩිස් 36, පැතුම් නිස්සංක 18, ලසිත් කෘෘස්පුල්ලේ 00, පවන් රත්නායක 04, දසුන් ශානක 22, වනිඳු හසරංග 03, මහීෂ් තීක්ෂණ 01, දුෂ්මන්ත චමීර 01, එෂාන් මාලිංග 03*, ජේසන් හෝල්ඩර් 18/3, ශමාර් ජෝසප් 29/3, රොස්ටන් චේස් 19/1)

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 19.2 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 149 යි – (ෂායි හෝප් 65*, බ්‍රෙන්ඩන් කිං 37, ශිම්රන් හෙට්මේයර් 17, රොස්ටන් චේස් 16, රෝව්මන් පවෙල් 10*, වනිඳු හසරංග 32/2, එෂාන් මාලිංග 26/1)

source:srilankacricket.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website