සමාරම්භක තරඟයෙන් ශ්‍රී ලංකා A කණ්ඩායමට එරෙහිව ඉන්දියාවට ලකුණු 08ක තියුණු ජයක්

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (09) පැවැති ශ්‍රී ලංකා, ඉන්දීය සහ ඇෆ්ගනිස්ථාන ‘ඒ’ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් ආරම්භ වුණු තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති සමාරම්භක තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට එරෙහිව ලකුණු 08 ක තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දීය ‘ඒ‘ ක්‍රීඩකයෝ සමත්වූහ.

ලකුණු 278ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ‘ඒ’ පිල තරගයේ අවසන් අදියර දක්වාම ජයග්‍රහණයට ආසන්නව සිටියේය. කඩුලු 4ක් අතැතිව තිබියදී ජයග්‍රහණයට අවශ්‍යව තිබුණේ ලකුණු 17ක් පමණක් වන අතර පන්දු 18ක් ද ඉතිරිව තිබිණි. එම අවස්ථාවේදී නායක සහන් ආරච්චිගේ ලකුණු 74ක් ලබා කඩුල්ලේ රැඳී සිටියේය.

කෙසේ වෙතත් අන්ෂුල් කාම්බෝජ්ගේ තියුණු යෝකර් පන්දුවකට සහන් ආරච්චිගේ දැවී යාමත් සමඟ තරගයේ වාසිය ඉන්දීය පිල වෙත දෝලනය විය. ඉන් අනතුරුව අර්ෂාඩ් ඛාන්ගේ ඕවරයේ පන්දු 4ක් ඇතුළත කඩුලු 3ක් බිඳ වැටීමෙන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ජයග්‍රාහී බලාපොරොත්තු බිඳ වැටිණි. ඒ අනුව ශ්‍රී ලංකා ‘ඒ’ පිල ඕවර 48.5කදී ලකුණු 269කට සියලු දෙනා දැවී ගියේය.

ශ්‍රී ලංකා ඉනිමේදී නිරෝෂන් දික්වැල්ල ලකුණු 47ක්, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 45ක් සහ සධීර සමරවික්‍රම ලකුණු 46ක් රැස් කළද, තිදෙනාම අර්ධ ශතක පෙනෙන මානයේදී දැවී ගියහ. නායක සහන් ආරච්චිගේ පන්දු 71කින් ලකුණු 74ක් රැස් කරමින් ජයග්‍රහණය වෙනුවෙන් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළේය. වනුජ සහන් ද ලකුණු 23ක දායකත්වයක් ලබා දුන්නේය.

පන්දු යැවීමේදී අන්කුල් රෝයි, ආයුෂ් බදෝනි, විප්රාජ් නිගම් සහ අර්ෂාඩ් ඛාන් කඩුලු දෙක බැගින් දවා ගනිමින් ඉන්දීය පිලේ ජයග්‍රහණයට දායක වූහ.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය ‘ඒ’ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් ඕවර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 277ක් රැස් කළේය.

ඉන්දීය ඉනිමේ මුල් කඩුලු කිහිපය බලාපොරොත්තුවූවාට වඩා ඉක්මනින් බිඳ වැටුණද, රුතුරාජ් ගයික්වාඩ් සහ නායක තිලක් වර්මා සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 150ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ඉනිම ගොඩනැගූහ. ශ්‍රී ලංකා පිලට මෙම සම්බන්ධතාව බිඳ දැමීමට අවස්ථා දෙකක්ම උදා වූ නමුත් ඒවා ප්‍රයෝජනයට ගැනීමට නොහැකි විය.

ගයික්වාඩ් ලකුණු 10ක් ලබා සිටියදී මොහොමඩ් ශිරාස්ගේ පන්දුවකට ලබාදුන් උඩපන්දුවක් සධීර සමරවික්‍රම අතින් ගිලිහී ගිය අතර, තිලක් වර්මා ලකුණු 9ක් ලබා සිටියදී වනුජ සහන්ගේ පන්දුවකට ලබාදුන් තවත් උඩපන්දුවක් ද සධීර අතින් බිඳ වැටිණි. එම අවස්ථා දෙකෙන් වරම් ලබා ගත් පිතිකරුවන් දෙදෙනාම ඉන් උපරිම ප්‍රයෝජන ගනිමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කළහ. ගයික්වාඩ් පන්දු 114කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 101ක් රැස් කරමින් ශතකයක් වාර්තා කළ අතර, තිලක් වර්මා පන්දු 97කින් ලකුණු 60ක් ලබා අර්ධ ශතකයක් වාර්තා කළේය.

අවසන් ඕවරවලදී ආයුෂ් බදෝනි (24) සහ සූර්යනාශ් ෂෙජ් (නොදැවී 26) පන්දු 26කින් ලකුණු 46ක් එක්කරමින් ඉන්දීය ඉනිමට වේගවත් නිමාවක් ලබා දුන්හ.

වෛභව් සූර්යවංශිගේ සහභාගීත්වය හේතුවෙන් මෙම තරගය පමණක් නොව තරගාවලිය පුරාම විශේෂ උනන්දුවක් දිනාගෙන තිබෙන නමුත්, 15 හැවිරිදි දකුණත් පිතිකරවාගේ පළමු ඉනිම ලකුණු 14 කට සීමා විය. ඉනිම ආරම්භ කළ වමත් පිතිකරු පන්දු 10කදී හතරේ පහර 3ක් සමඟ ලකුණු 14ක් ලබා සිටියදී මොහොමඩ් ශිරාස්ගේ පන්දුවකට පහර දුන් උඩපන්දුව මිඩ් ඕෆ්හි සිටි සහන් ආරච්චිගේ විශිෂ්ට ලෙස රැක ගැනීමෙන් දැවී ගියේය.

ඉන්දීය ‘ඒ’ කණ්ඩායමට මෙම තරගයේදී රුතුරාජ් ගයික්වාඩ්ගේ ශතකය විශේෂ වැදගත්කමක් ගන්නා ලද්දේ උප නායක රියාන් පරාග් ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමෙන් පසුව ඔහු කණ්ඩායමට එක්වූ පළමු තරගය මෙය වූ බැවිනි.

ඉන්දීය ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 6 ට ලකුණු 277 යි – (වෛභාව් සූර්යවංශි 14, ප්‍රියනාශ් ආර්යා 32, රුතුරාජ් ගයික්වාඩ් 101, තිලක් වර්මා 60, ආයුෂ් බදෝනි 24, සූර්යනාශ් ෂෙජ් නොදැවී 26, මොහොමඩ් ශිරාස් 67/2)

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පන්දුවාර 48.5 කදී සියලු දෙනා දැවී ලකුණු 269 යි – (නිරෝෂන් දික්වැල්ල 47, අවිශ්ක ප්‍රනාන්දු 45, සධීර සමරවික්‍රම 46, සහන් ආරච්චිගේ 74, වනුජ සහන් 23, අන්කුල් රෝයි 49/2, ආයුෂ් බදෝනි 46/2, විප්රාජ් නිගම් 46/2, අර්ෂාඩ් ඛාන් 24/2)

source:srilankacricket.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website