මේ වසර මුලදී අධිභාරයක් පැනවූවද වාහන ආනයනය සැලකිය යුතු ලෙස අඩු වී නොමැති බවත්, ආනයනික වාහන වෙළඳපොළට ඇතුළුවීම අඛණ්ඩව සිදුවන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා සඳහන් කළේය.
ඔහුට අනුව වාහන විශාල සංඛ්‍යාවක් අලෙවි නොවී පැවතුන ද, ආනයන අපේක්ෂා කළ පරිදි පහත වැටී නොමැති අතර නිරීක්ෂණය කරන ලද සුළු අඩුවීම මඟින් රාජ්‍ය ආදායමට කිසිදු මූල්‍යමය බලපෑමක් ඇති කර නොමැත.
“වාහන ආනයනය රේගු ආදායමෙන් සියයට 30ක් පමණ දායක වෙනවා. මාසික ආදායම් සංඛ්‍යාලේඛන මෙම ස්ථාවර දායකත්වය පිළිබිඹු කරනවා. ජනවාරි මාසයේදී මුළු ආදායම රුපියල් බිලියන 235 ක් වූ අතර, එයින් රුපියල් බිලියන 91 ක් වාහන බදු වශයෙන් ලැබුණා. පෙබරවාරි මාසයේදී රේගු ආදායම රුපියල් බිලියන 215ක් වූ අතර ආනයනික වාහනවලින් රුපියල් බිලියන 75ක් දමාර්තු මාසයේදී රුපියල් බිලියන 231.9ක් වූ රේගු ආදායමෙන් රුපියල් බිලියන 77ක්, අප්‍රේල් මාසයේදී රුපියල් බිලියන 242.9ක් වූ රේගු ආදායමෙන් වාහනවලින් රුපියල් බිලියන 84ක් ලැබුණා. මැයි මාසයේදී මැයි 28 දක්වා රුපියල් බිලියන 212ක් වූ රේගු ආදායමෙන් රුපියල් බිලියන 76ක් ආනයනික වාහන බදු වලින් ලැබුණා. ඩොලර් අනුපාතය ඉහළ යාම, මැද පෙරදිග යුද්ධය රේගු බදු වල රුපියල් වටිනාකම වැඩි කර තිබෙනවා, එමඟින් ආදායම අඩු කිරීමට වඩා රේගු ආදායම වැඩි කර තිබෙනවා” ඔහු වැඩි දුරටත් පැවසුවේය.
“පසුගිය වසරේ වාහන ආනයනය රේගු ආදායමෙන් සියයට 30-35ක් ලෙස තිබුණා.මෙම වසරේ ද එම ප්‍රවණතාව අඛණ්ඩව පවතිනවා. අධිභාරය තිබියදීත්, කලින් අපේක්ෂා කළ පරිදි කිසිදු අඩුවීමක් වාර්තා වී නැහැ” රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා සඳහන් කළේය.
















