සියලු පුරවැසියන්ට ඉන්ධන සහනාධාරයක් ලබා දීම නොකළ යුතුයි – අමරසේන අතුකෝරළ – ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරී

මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව පමණක් නොවෙයි සමස්ත ලෝකයම යම්කිසි අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ දෙමින් සිටින්නේ, අපි කවුරුත් ඒකට හේතුව දන්නවා. මැදපෙරදිග අර්බුදය හේතුවෙන් ප්‍රධාන අර්බුද ගණනාවක් නිර්මාණය වුණා. ඒ අතර ප්‍රධානතම අර්බුදය වුණේ ගෝලීය වශයෙන් ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යාමයි. මේ තත්ත්වය ලෝකයේ සෑම රටකම අභ්‍යන්තර ඉන්ධන මිල ගණන් ඉහළ යාමට හේතු වුණා. ලංකාවේ තත්ත්වය ගත් විට මේ අර්බුදයට පෙර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මාසිකව ඉන්ධන ආනයනයට වැය කළේ ඩොලර් 150-200ක් අතර මුදලක් පමණයි. නමුත් මේ වන විට ලංකාවේ මාසික ඉන්ධන වියදම ඩොලර් 500කට වඩා වැඩි අගයක් දක්වා වර්ධනය වෙලා තිබෙනවා. ලංකාව අද මුහුණ දෙන රුපියල අවප්‍රමාණය වීමේ, ගේවුම් ශේෂය දුර්වල වීමේ සහ උද්ධමනය ඉහළ යාමේ ප්‍රවණතාව සම්පූර්ණයෙන් නිර්මාණය වුණේ මේ ආකාරයෙන් ඉන්ධන ආනයන වියදම විශාල වශයෙන් වර්ධනය වූ නිසයි. ඉන්ධන කියන්නේ ආර්ථිකයේ රුධිරවාහිනී පද්ධතිය. ඉන්ධන සැපයුමට හෝ මිල ගණන්වලට සැලකිය යුතු බලපෑමක් වීම අනිවාර්යයෙන්ම බරපතළ ආර්ථික ගැටලු ගණනාවක් නිර්මාණය කරනවා. මම මුලින් කිව්වා වාගේ ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන ආර්ථික පීඩනයේ තිඹිරිගෙය තමයි ගෝලීය ඉන්ධන අර්බුදය.

ඔව්, පසුගිය මාසයේ විදුලි බිල සැලකිය යුතු ප්‍රතිශතයකින් ඉහළ දැමීමට රජය පියවර ගත්තා. නමුත් එහි වැඩිම බලපෑමක් වුණේ මාසිකව ඒකක 180කට වඩා වැඩියෙන් විදුලිය පාරිභෝජනය කරන ජනතාවටයි. 95%කට පමණ පිරිසකට විදුලි බිල වැඩි කිරීමෙන් බලපෑමක් වුණේ නැහැ. නමුත් විදුලි බිල වැඩි වීම සමස්ත ආර්ථික ක්‍රියාකාරීත්වයටම හානිකර ලෙස බලපානවා. කර්මාන්තවල නිෂ්පාදන පිරිවැය ඉහළ යාමට එය ඍජුව බලපානවා. එය භාණ්ඩ සහ සේවා වල මිල ගණන් ඉහළ යාමට ඍජුව හේතු වෙනවා. මෙය කිසිසේත් ආර්ථිකයට යහපත් තත්ත්වයක් නොවෙයි.

අපි මේ ගතකරමින් ඉන්නේ අසීරු අවස්ථාවක්, අභියෝගාත්මක අවස්ථාවක්. ඒ නිසා රටක් ලෙස, ජනතාව ලෙස ඉතාම පරිස්සමින් ඉන්ධන සහ ඉන්ධන ආශ්‍රිත නිෂ්පාදන පාවිච්චි කළ යුතුයි. එය අපි සියලු දෙනාගේම වගකීමක් වගේම පුරවැසි බැඳීමක් ලෙස මම දකිනවා.

ඔව්, ඉතාම පැහැදිලි දත්ත සහ සාක්ෂි මත ඒ බව තහවුරු කළ හැකියි. 2022 ආර්ථික අර්බුදයෙන් පස්සේ 2025 වන විට මෙරට ආර්ථිකය ඉතාම හොඳින් ප්‍රතිසංවිධානය වෙමින් සහ ප්‍රසාරණය වෙමින් තිබුණා. මේ ගැන තහවුරු කළ හැකි හොඳම සාක්ෂියක් තමයි 2025 වසරේ ආර්ථික ප්‍රගතිය ගැන ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේ දී ආර්ථික විවරණයක් නිකුත් කළා. මේ විවරණය අනුව 2025 දී ලංකාව පළමු වැනි වතාවට ඒක පුද්ගල ආදායම ඩොලර් 5000ක සීමාව පසුකර යනවා. ඒ වගේම ආර්ථික වර්ධන වේගය 5%ක සීමාව දක්වා ඉහළ නංවා ගෙන තිබුණා. ඒ වගේම ඩොලර් බිලියන 07කට අධික විදේශ සංචිතයක් පවත්වා ගැනීමට අපට හැකියාව ලැබුණා. ඒ වගේම 2025 කියන්නේ මෙරට සංචාරක ව්‍යාපාරයේ ස්වර්ණමය වසරයි. වාර්තාගත සංචාරකයින් පිරිසක් 2025 දී මෙරට සංචාරය කර තිබෙනවා. අපනයන ආදායම සම්බන්ධයෙන් ගත්විට අපනයන ආදායමේ  කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගැනීමට 2025 දී අප සමත් වුණා. මෙහි දී විදේශ ප්‍රේෂණ ගැන කතා නොකරම බැහැ. විදේශගත ශ්‍රී ලාංකිකයින් 2025 දී ඩොලර් බිලියන 8.1ක් ලංකාවට එවා තිබෙනවා. තවත් වැදගත් කාරණයක් මෙහිදී සිහිපත් කළ යුතුයි. 1956 වසරෙන් පසු ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ අඩුම අයවැය පරතරය, ආණ්ඩුවේ ආදායම් සහ වියදම් අතර පරතරය වාර්තා වු‍ණේ 2025 වර්ෂයේ දී බව අපි අමතක නොකළ යුතුයි. එම වර්ෂයේ අයවැය පරතරය 2.4%ක් දක්වා පහත දමා ගැනීමට රජය සමත් වුණා.

ඔව්, 2025 දී රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 16.8%ක් දක්වා රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට රජය සමත් වුණා. මේ ආකාරයෙන් ඉතාම සාර්ථකව ආර්ථිකය යළි ප්‍රකෘතිමත් වෙමින් පවතින අවස්ථාවක තමයි 2025 නෙවැම්බර් මාසයේ දිට්වා සුළි කුණාටුව එන්නේ. ඊට පසුව 2026 පෙබරවාරී අගභාගයේ සිට මැදපෙරදිග අර්බුදය ආරම්භ වුණා. වෘත්තියෙන් ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරිවරයෙකු ලෙස මගේ අදහස තමයි පිබිදෙමින් තිබූ ආර්ථිකයක් දිට්වා සුළි කණාටුවේ බලපෑමෙන් සහ මැදපෙරදිග අර්බුදයෙන් සැලකිය යුතු අභියෝගාත්මක තත්ත්වයකට ලක් කළා. නමුත් මම පුද්ගලිකව විශ්වාස කරනවා වත්මන් රජය මේ අභියෝගාත්මක තත්ත්වය පහසුවෙන් කළමනාකරණය කර ගනීවි කියලා.

මේ අර්බුදයෙන් පීඩාවට සහ දුෂ්කර තත්ත්වයන්ට භාජනය වූ ජනතාවට රජය දැනටමත් ලබා දෙන්න පුළුවන් සියලුම සහන ලබාදී තිබෙනවා. මේක පීඩාවට පත් ජනතාවට හැකි සෑම සහනයක්ම ලබා දෙමින් කටයුතු කරන ආණ්ඩුවක්.

මෙහි දී අපි කාරණා කිහිපයක් යළි සිහිපත් කරගත යුතුයි. 2022 දී අපි බංකලොත්භාවයට පත් වුණාට පස්සේ අපිට ඩොලර් සංචිත තිබුණේ නැහැ. ආර්ථික අර්බුදය, නැතිනම් රට බංකලොත් වුණේ විදේශ සංචිත නොතිබීම නිසයි. ණය ගෙවා ගන්න නොහැකි වුණේ, ඛනිජ තෙල්, ගෑස් සහ රසායනික පොහොර ඇතුළු අත්‍යවශ්‍ය ආනයන කරන්න නොහැකි වුණේ ඩොලර් සංචිත නොතිබුණ නිසයි. නමුත් මේ වන විට අප සතුව ඩොලර් බිලියන 07කට අධික විදේශ සංචිත තිබෙනවා. ඉන්දියාව සතුව ඩොලර් මිලියන 700කට අධික විදේශ සංචිත තිබෙනවා. නමුත් ඉන්දියාවත් විදේශ සංචිත ආරක්ෂා කර ගැනීමට, ඩොලර් පිටවීම වළක්වා ගැනීමට දැඩි ප්‍රතිපත්තිමය තීන්දු ගණනාවක් ගෙන තිබෙනවා. ඉන්දීය ජනතාවට අති සංවේදී කාරණයක් වන රත්‍රං මිලදී ගැනීම පවා අධෛර්යමත් කිරීමට ආණ්ඩුව පියවර ගත්තා. විශේෂයෙන් අගමැති මෝදි මේ ගැන ඉන්දීය ජනතාවට ආයාචනයක් පවා කළා. ඒ වගේම විදේශ සංචාර පාලනය කරන මෙන් ඉල්ලා සිටියා.

ලංකාවේ තත්ත්වය ගත්විට අප සතුව තිබෙන්නේ ඉතාම කුඩා විදේශ සංචිත ප්‍රමාණයක්. මාස කිහිපයක ආනයන සඳහා පමණයි එය ප්‍රමාණවත් වෙන්නේ. ඒ නිසා මෙවැනි අභියෝගාත්මක අවස්ථාවක විදේශ සංචිත දැඩිව කළමනාකරණය කළ යුතුයි, රැකගත යුතුයි. වාහන ආනයන බදු මත 50%ක අධි භාරයක් පැනවීමට ආණ්ඩුව පියවර ගත්තේ මේ නිසයි. ඔබට මතක ඇති 2022 සිට 2024 පෙබරවාරී මාසය දක්වා ලංකාවට වාහන ආනයනය සම්පූර්ණයෙන් තහනම් කරලා තිබුණේ. ඒකට හේතුව වුණේ ලංකාව සතුව ඩොලර් නොතිබීම. 2025 පෙබරවාරී මාසේ යළි වාහන ආනයනය ආරම්භ කරන විට ආණ්ඩුවේ ඇස්තමේන්තුව වුණේ මේ සඳහා ඩොලර් බිලියන 1.2ක් පමණ වැය වෙයි කියලා. නමුත් 2025 දී වාහන ආනයනය වෙනුවෙන් ඩොලර් බිලියන 2.2ක් වැය වුණා. 2026 දී මේ තත්ත්වය පාලනය වෙයි කියලා හිතුවත් ඒක අඩු වුණේ නැහැ. 2026 පළමු මාස තුනට ඩොලර් මිලියන 613ක වාහන ආනයනය කරලා තිබෙනවා. මේ ප්‍රවණතාව දිගටම ගියොත් 2026 වර්ෂය අවසානයේ වාහන ආනයනය වෙනුවෙන් ඩොලර් බිලියන 2.6ක් පමණ වැය වෙයි කියලා ඇස්තමේන්තු කරලා තිබෙනවා. මෙහි ප්‍රතිඵලය කුමක් ද ?, ඉතාම පරිස්සමෙන් උපයා ගන්නා ඩොලර් ප්‍රමාණය ක්ෂණිකව, කෙටි කාලීනව වාහන ආනයනයට වැය වෙනවා. මෙහි තවත් හානිකර ප්‍රතිඵලයක් ක්ෂණිකව නිර්මාණය වුණා. රුපියල් 300ක් හෝ ඊට ආසන්නයේ පැවැති එක්සත් ජනපද ඩොලරය ඉතා කෙටි කාලයක් තුළ රුපියල් 330-340 දක්වා වර්ධනය වුණා. අවසාන දිනයේ දී රුපියල් 355ක් දක්වා ඉහළ ගියා. ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල අවප්‍රමාණය වීම පාලනය කිරීමට මැදිහත් වුණේ මේ අවස්ථාවේ දීයි.

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වෙනවා කියන්නේ ලංකාවට ආනයනය කරන සියලුම භාණ්ඩවල මිල ගණන් ඉහළ යනවා කියන එකයි. ඒක පරිප්පු, සීනි, කිරිපිටි වැනි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මෙන්ම, ඉන්ධන, ගෑස්, ගල් අඟුරු, මෝටර් රථ, පරිගණක උපාංග, විදුලි උපකරණ ඇතුළු ආනයන දස දහස් ගණනක මිල ඉහළ යාමට ඍජුව හේතු වෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ විල ආනයනික මිල ඉහළ යාම ඍජුව උද්ධමනය ඉහළ යාමට දායක වන අතර අන්තර් භාණ්ඩ වල මිල ඉහළ යාම නිෂ්පාදන වියදම ඉහළ යාමට ඍජුව බලපානවා. සමස්තයක් ලෙස ආනයනික මිල ඉහළ යාම කියන්නේ ඍජුව උද්ධමනය ඉහළ දැමීමක්. රුපියල අවප්‍රමාණය වීම අපනයනයවලට වාසිදායක වුණත් ලංකාවේ අපනයනවලට වඩා ආනයන වියදම ඉතාම විශාල නිසා පොදුවේ රුපියල අවප්‍රමාණය වීම ආර්ථිකයට හානිකරයි.

ලංකාවට වාහනයක් ආනයනය කරන විට 30%ක තීරු බද්දක් අය කරනවා. ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය දා කළේ ඒ තීරු බද්ද මත 50%ක අධිභාරයක් පැනවීමයි. ඒ කියන්නේ 30%ක් වුණ තීරු බද්ද 45%ක් දක්වා ඉහළ දැමීමයි. තීරු බද්ද මත අධිභාරයක් පැනවීමේ හේතු ආණ්ඩුව ඉතාම පැහැදිලිව හෙළි කළා. ආණ්ඩුව ඉතාම පැහැදිලිව කිව්වේ මේ බද්ද පැනවීමේ අරමුණ ඉදිරි මාස තුනක කාලය තුළ වාහන ආනයනය අඩු කිරීමට බවයි. ඉතාම පැහැදිලිව මේ 50%ක අධිභාරයක් දැම්මේ ආණ්ඩුවට බදු ආදායමක් ලබා ගන්න නෙමෙයි. වාහන ආනයනය සීමා කිරීමටයි. රටින් ඩොලර් පිටවීම පාලනය කිරීමටයි.   

ඔව්, ආණ්ඩුවේ මේ තීරණයත් එක්ක වාහන ආනයනය කරන සමාගම් සහ පුද්ගලයින් කලබල වෙලා (Panic buying) වැඩි වැඩියෙන් LC විවෘත කරන්න පටන් ගත්තා. මේ හේතුව නිසා ඩොලර් ඉල්ලුම තවත් වර්ධනය වෙලා රුපියල තවත් අවප්‍රමාණය වුණා. 2026 ජනවාරී 20 වන විට සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 4-5ක් වගේ මුදලක් තමයි වාහන ආනයනයට ගියේ. නමුත් මැයි 19 ඩොලර් මිලියන 20ක්, 25 සහ 35ක් ආදි වශයෙන් විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් පිටට ගියා. මේ අතර තවත් අනපේක්ෂිත දෙයක් වුණා. අපනයනකරුවෝ තමන්ගේ අපනයන ආදායම් ලංකාවට ගේන එක ටිකක් ප්‍රමාද කළා.

මහ බැංකුව ක්ෂණික මැදිහත්වීමක් කළා. ඒ අනුව වාහන ලීසිං හෝ ෆිනෑන්ස් කිරීමේ දී ලබා දෙන ණය ප්‍රතිශතය සීමා කළා. ඒ අනුව වාහන ණය සීමාව 50%ක් දක්වා අඩු කළා. ඒ වගේම ස්වර්ණාභරණ (රත්‍රං) උකස් තැබීමේ දී ලබා දෙන මුදල අඩු කළා. ඒ වගේම වහාම තමන්ගේ අපනයන ආදායම් ගෙන එන ලෙස අපනයනකරුවන්ටත් දැනුම් දුන් බවට ආරංචියක් තිබෙනවා. අපනයන ආදායම් රැගෙන ඒම තව දුරටත් ප්‍රමාද කළොත් අදාළ මුදල් ලංකාවට ගෙන ඒමට ලබා දෙන කාලය අඩුකරන බව මහ බැංකුව අපනයනකරුවන්ට දැනුම් දී ඇති බව වාර්තා වෙනවා. මේ කඩිනම් පියවර සමග 350ක පමණ අගයක තිබුණ ඩොලර් එක වේගයෙන් 330 දක්වා පහළ වැටුණා. මගේ අදහස අනුව මහ බැංකුව තමන්ගේ උපකරණ භාවිත කරමින් ඉතාම සාර්ථකව රුපියල අවප්‍රමාණය වීම පාලනය කළා.

ඉතාම පැහැදිලිව ඉන්ධන සහ විදුලිය මත රාජ්‍ය සහනාධාරය පවත්වා ගෙන යාමේ බරපතළ ගැටලු තිබෙනවා. සහනාධාරය අවශ්‍ය නැති විශාල පිරිසක් මේ හරහා ප්‍රතිලාභ ලබනවා. ඒ නිසා මෙවැනි සහනාධාර ලබාදිය යුත්තේ ‘ඉලක්ක ගත ප්‍රජාවකට’ පමණයි. නමුත් මේ ඉලක්ක ගත ප්‍රජාව නිවැරදිව හඳුනා ගත නොහැකි වීම හේතුවෙන් ඉන්ධන සහනාධාරය ඉන්ධන මිල දී ගන්න සෑම පුද්ගලයෙකුටම ලැබෙනවා. ඒ නිසා තමයි ප්‍රාඩෝ එකක් පාවිච්චි කරන ධනවත් පුද්ගලයත් යතුරුපැදියක් පාවිච්චි කරන පුද්ගලයත් එකම මිලකට ඉන්ධන ලබා ගන්නේ. මම හිතන ආකාරයට ඉදිරියේ දී QR කේතය හරහා නිවැරදිව සහනාධාරය ලබාදිය යුතු පුද්ගලයා හඳුනා ගත හැකි වේවි. ඒ වගේම තමයි ආණ්ඩුව ඉතාම සකසුරුවම් ලෙස රාජ්‍ය ආදායම එකතු කර ගැනීම කරන නිසා සහ වියදම් කරන නිසා ඉන්ධන සහනාධාරය දෙන්න පුළුවන්කම තිබෙනවා. නමුත් හැමදාම මේක කරන්න බැහැ. ඉදිරියේ දී මේ බදු ආදායම ණය වාරික සහ පොළී ගෙවිමට වැය කිරීමට සිදුවෙනවා. ඒ නිසා දිගින් දිගටම ඉන්ධන සහනාධාරය ලබාදීමේ හැකියාවක් ආණ්ඩුවට නැහැ. මගේ අදහස අනුව සැප්තැම්බර් වන තෙක් මේ ඉන්ධන සහනාධාරය ලබා දෙයි. ඊට පස්සේ තත්ත්වය සමාලෝචනය කරන්න වෙනවා. මගේ අදහස නම් සියලුම පුරවැසියන්ට ඉන්ධන සහනාධාරය හිමි නොවිය යුතුයි. එය ලබාදිය යුත්තේ තෝරා ගත් පුද්ගලයින්ට පමණයි.

සටහන – භාතිය බරුකන්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website