ආණ්ඩු බලය ලැබුණත් රාජ්‍ය බලය ලැබුණේ නැහැ’ කියන ළදරු මානසිකත්වයක් මේ ආණ්ඩුවට තිබෙනවා. ප්‍රජාතනන්ත්‍රවාදී මැතිවරණයකින් හුවමාරු වෙන්නේ, ලබා ගන්න පුළුවන් ආණ්ඩු බලය පමණයි. රාජ්‍ය බලය අල්ල ගන්න නම් විප්ලවයක් සිදුවිය යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටුවිය යුතුයි. මාළිමාව 2024 දී විප්ලවයක්, සන්නද්ධ අරගලයක් හෝ 1971, 88-89 වාගේ කැරැල්ලක් ජයග්‍රහණය කළේ නැහැ. ඉතාම පැහැදිලිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පවත්වපු මැතිවරණයකින් තමයි මාළිමාව 2024 බලය ලබා ගත්තේ. ඒක ඔවුන් මතක තබා ගත යුතුයි.
- ‘අපි බලය ගත්තේ දෙන්න නෙමෙයි’ කියන කතාව මාළිමාව ආණ්ඩුවේ ජනප්‍රිය කතාවක් බවට පත්ව තිබෙනවා. පසුගිය දා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ඊට වඩාත් දුරදිග ගිය කතාවක් කළා. දීර්ඝ කාලයක් දේශපාලනය කළ දේශපාලනඥයෙක් ලෙස ඔබ මේ ප්‍රකාශ දකින්නේ කෙසේ ද ?
මේකෙන් තේරෙන්නේ වෙන දෙයක් නෙමෙයිනේ, අවුරුදු 60ක් තිස්සේ දේශපාලනය කළත් කිසිම දාක බලයක් නොලැබුණු කල්ලියකට අහම්බෙන්, කිසිමදාක විශ්වාස නොකළ ආකාරයට බලය ලැබුණා. දැන් ඒ කල්ලිය හිතනවා මේ බලය හැමදාම තියා ගන්න පුළුවන් කියලා. බලයක් නොතිබුණු, බලයක් නොදරපු මනුස්සයෙකුට බලය ලැබුණට පස්සේ එහෙම හිතෙන එක පුදුමයක් නෙමෙයි. අනෙක් කාරණය, මේ කතා කියන ජනතා විමුක්ති පෙරමුණ ප්රජාතන්ත්රවාදය විශ්වාස කරන කණ්ඩායමක් නෙමෙයි. ඔවුන් මේ රටේ ප්රජාතන්ත්රවාදයට විරුද්ධව දෙපාරක් ත්‍රස්තවාදය පාවිච්චි කළ කල්ලියක්. පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු, ජනාධිපතිවරයා ඝාතනය කරන්න උත්සාහ කළ කල්ලියක්. 1971 දී අගමැතිණිය පැහැර ගන්න ගිය කල්ලියක්. ත්‍රස්තවාදයෙන් රාජ්‍ය බලය පැහැර ගන්න උත්සාහ කළ කල්ලියක්. අරගලයට මුවා වෙලා පාර්ලිමේන්තුව ගිනි තියන්න ගිය කල්ලියක්. කොටින්ම අද රාජ්‍ය බලය දරන්නේ ශ්‍රී ලංකා රාජ්‍යයට විරුද්ධව ආයුධ අතට ගත්ත ත්‍රස්තවාදී කල්ලියක්. මේ කල්ලිය මාළිමාව කියන ලකුණුට මුවා වෙලා ආණ්ඩු බලය දිනා ගත්තා. මේ දැන් හිතාගෙන ඉන්නවා අවුරුදු 25කටවත් මේ බලය ආපසු දෙන්නේ නැහැ කියලා. ඔවුන්ට ප්රජාතන්ත්රවාදය කියන දේ ගැන අවබෝධයක් හෝ ඒකට ගරුත්වයක් නැහැ. ඔවුන් විශ්වාස කරන්නේ සුළුතර කල්ලියක් විසින් ආයුධ බලයෙන් රාජ්‍ය බලය පැහැර ගැනීමක් ගැන පමණයි. මේ යල්පැන ගිය මාක්ස්වාදී මිත්‍යාවේ මේ කල්ලිය තවමත් ඉන්නවා.
නමුත් ප්රජාතන්ත්රවාදය කියන්නේ මේ කියන කතාවට සපුරා වෙනස් වටිනාකමක්. ප්රජාතන්ත්රවාදය තීරණ ගන්නේ බහුතර කැමැත්තට. නියමිත කාලයක් තුළ මැතිවරණ පැවැත්වීම, මැතිවරණයේ දී ජයග්‍රහණය කරන කණ්ඩායමට ආණ්ඩු බලය මාරු වීම, විපක්ෂයට ගෞරවණීය පිළිගැනීමක් ලබාදීම සහ ඊළඟ ආණ්ඩුව ලෙස පිළිගැනීම වගේ වටිනාකම් මේ රටේ පසුගිය අවුරුදු 76 තුළ ආරක්ෂා වුණා. මැතිවරණයෙන් පසු ආණ්ඩු බලය සුමට ලෙස මාරු වුණා. ජනතා විමුක්ති පෙරමුණට අද අවශ්‍ය වෙලා තියෙන්නේ මේ ප්රජාතන්ත්රවාදයට තිත තියන්න. ඔවුන්ට පමණක් සදාකාලිකව බලයේ ඉන්න පුළුවන් ක්‍රමයක් හදා ගන්න.
ප්රශ්නය තියෙන්නේ මෙතැනයි, ජනතා විමුක්ති පෙරමුණ 1994 දී ප්රජාතන්ත්රවාදී ප්රවාහයට යළි ආවට පස්සේ ඔවුන් විපක්ෂයේ ඉතාම කුඩා කල්ලියක් ලෙස ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් මොන තරම් කෑ මොර දුන්න ද ?, මැතිවරණ ඉල්ලලා, මැතිවරණයෙන් ජයග්‍රහණය කරන ලෙස ඉල්ලා මොන තරම් කෑ ගැහුවද ?. ඒ ජනතා විමුක්ති පෙරමුණ ද අද මේ වගේ කතා කියන්නේ. 2024 දී 43%ක අධි සුළුතර ඡන්දයකින් ජනාධිපති ධුරය දිනාගත්ත පක්ෂයක්, ඉතාම සුමට බලය හුවමාරුවක් ලබා ගත් පක්ෂයක් අද මෙවැනි කතා කියන්නේ කොහොමද ?. මේ හරහා පේන්නේ වෙන කිසිම දෙයක් නෙමෙයි. 1994 සිට ප්රජාතන්ත්රවාදයට මුවා වෙලා ඉදලා තියෙන්නේ ප්රජාතන්ත්රවාදයට කිසිම ගරුත්වයක් දෙන්නේ නැති, ප්රජාතන්ත්රවාදය පිළිනොගන්නා ත්රස්ත්රවාදී කල්ලියක්. දැන් ඔවුන් ඒ සළුව ගළවලා දාලා තියෙන්නේ. දැන් අපට ජනතා විමුක්ති පෙරමුණ කියන ස්ටැනිලින්වාදී පක්ෂය පැහැදිලිව පේනවා. විරුද්ධ මතවාද නොඉවසන, විරුද්ධ දේශපාලනයට ඉඩ නොදෙන ඒ ඒකාධිපති වියරුව දැන් ක්‍රමයෙන් හිස ඔසවමින් තිබෙනවා.‘විපක්ෂය දේශපාලනිකව පරාජය කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ, එය දේශපාලනිකව විනාශ කළ යුතුයි’ කියන ප්රජාතන්ත්ර විරෝධී අන්තවාදී මතයට ඔවුන් අද පැමිණ සිටින්නේ එකාධිපතිවාදයට ඔවුන් ඒ තරම් කැමැති නිසයි.
ප්රජාතන්ත්රවාදයට ගරු කරන දේශපාලනඥයෙක් ලෙස මට කියන්න තියෙන්නේ ‘බලය ගත්තේ දෙන්න නෙමෙයි’ කියලා වහසි බස් කිව්ව පාලකයෝ හිතුවටත් වඩා ඉක්මනින් ගෙදර ගියා’ කියන එක පමණයි. ඔ්නෑම අභියෝගයක් මැද, අවධානමක් මැද අපි මේ රටේ ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පෙරමුණ ගන්නවා. ඒ වගේම ප්රජාතන්ත්ර විරෝධීව එක මොහොතක් හෝ බලයේ ඉන්න ආණ්ඩුව උත්සාහ කළොත් ඒකට විරුද්ධව සටන් කරලා ඒ ඒකාධිපති ආණ්ඩුව පරාජයට පත්කරනවා.
- දේශපාලන ව්‍යාපාරයක් පරාජයට කිරීම ගැන කතා කිරීමට වඩා ඒවා විනාශ කිරීම ගැන කතා කිරීම බරපතළ තත්ත්වයක් නේද ?, මෙවැනි ප්‍රකාශ නුහුරුයි නේද ?
මේ ආණ්ඩුව බලයට පත් වූ දා සිට ක්‍රියාත්මක වුණේ ජනතාවට දුන්න පොරොන්දු ඉටු කිරීමට නෙමෙයි, විපක්ෂය විනාශ කිරීමටයි. ඊනියා ‘හොරු ඇල්ලීමට’ මුවා වෙලා මාළිමාව කළේ මේ දීර්ඝ කාලීන සැලසුම ක්‍රියාත්මක කිරීම පමණයි. ඒ සඳහා ඔවුන් රාජ්‍ය යාන්ත්‍රණය, ආයතන, බලය සියල්ල කිසිම බියකින් හෝ චකිතයකින් තොරව භාවිතා කරනවා. අවසානයේ අධිකරණයට පවා අත තියන්න යන්නේ මේ ඒකාධිපති ගමනට අවශ්‍ය බාධා ඉවත් කර ගැනීමටයි. ඒ කියන්නේ විපක්ෂය සමූල ඝාතනය කිරීමයි. ප්‍රේමලාල් ජයසේකරට අනුව විපක්ෂ කොන්ක්‍රීට් කිරීමයි. විපක්ෂයේ දේශපාලනඥයින් සිර ගෙවල්වලට දාලා, ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා, අවුරුදු ගාණකට මැතිවරණ වලට ඉදිරිපත් වීමට ඇති අයිතිය අහිමි කිරීම ආණ්ඩුවේ එක් සැලසුමක්. දෙවැනි සැලසුම වන්නේ ‘දේශපාලන ව්‍යාපාරවල නායකයෝ ඝාතනය කර දැමීමයි’. එවැනි තත්ත්වයක් තුළ ප්රජාතන්ත්රවාදී දේශපාලන ව්‍යාපාරයටකට යළි නැගිටීමක් පහසු නැහැ. තුන්වැනි සැලසුම තමයි බිය වැද්දීම, මේ හරහා ඔවුන් නිහඬ කිරීම හෝ රටින් පළා යාමට පසුබිම නිර්මාණය කිරීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටිනවා. ආණ්ඩුව මේ සැලසුම් තුනෙන් දෙකක් හෝ විකල්පයක් නැති වුණොත් තුනම වුණත් ක්‍රියාත්මක කරන්න පුළුවන්.
- ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් වුණ ආණ්ඩුවකට මෙවැනි පියවරක් ගන්න පුළුවන්ද ?
මෙපමණ කාලයක් තමන් කැමැති දේශපාලන මතයක් දරන්න ජනතාවට අයිතිය තිබුණා. තමන් කැමති දේශපාලන පක්ෂයකට වැඩ කරන්න, ඒවා ජයග්‍රහණය කරවන්න ජනතාවට ඇති අයිතියට කිසිම ආණ්ඩුවක් අභියෝග කළේ නැහැ. ඒ වගේම තමන් අකමැති ආණ්ඩුවක් මැතිවරණයකින් පරාජය කිරීමට ජනතාවට ඇති අයිතියට කිසිම ආණ්ඩුවක් අභියෝග කළේ නැහැ. ඒක රටේ ප්රජාතන්ත්රවාදය පිළිබඳව තිබුණ ඉතාම වැදගත් සහතිකයක්. අද ඒ ප්රජාතන්ත්රවාදය හකුළා දමන්න තමයි මාළිමාව ආණ්ඩුව සූදානම් වෙන්නේ. ප්‍රේමලාල් ජයසේකරලා හමුදාවේ වැඩ කළ අය. ඔවුන් කැමැති ඇති හැමදාම තමන්ගේ බලය රැක ගන්න පුළුවන් හමුදා පාලනයකට වුණත් රට තල්ලු කරන්න. මෙවැනි පුද්ගලයෝ නිසා රටේ ප්රජාතන්ත්රවාදය දැඩි අනතුරකට ළං වෙමින් සිටිනවා. මේ අනතුරු ගැන තවමත් බොහෝ දෙනෙකුට අවබෝධයක් නැහැ. මේ යන්නේ හිට්ලර් පන්නයේ ගමනක්, හ්යුගෝ චාවේස් පන්නයේ ගමනක් කියලා වැටහෙන විට අපි පමා වුණා වැඩි වෙන්න පුළුවන්.
- වෙනිසියුලාව ඇතුළු වාමාංශික පක්ෂ ප්රජාතන්ත්රවාදී මැතිවරණයකින් බලයට පත් වුණත් පසුව ප්රජාතන්ත්රවාදය හකුළා දමනවා නේද ?, ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදීව බල හුවමාරුවකට යළි අවස්ථාව දෙන්නේ නැහැ නේද ?
ඒක තමයි ස්වභාවය. වෙනිසියුලාවේ හියුගෝ චාවේස් බලයට පත් වුණේ ප්රජාතන්ත්රවාදී මැතිවරණයකින්. ඊට පස්සේ ඔහු තමන්ගේ බලය රැක ගැනීමට වෙනිසියුලාවේ ප්රජාතන්ත්රවාදය විනාශ කළා. විපක්ෂ විනාශ කළා. නමුත් අවසානයේ රටට අත් වුණ ඉරණම කුමක් ද ?. වෙනිසියුලාව සම්පූර්ණයෙන් විනාශ වුණා, බංකලොත් වුණා. අවසානයේ වාචේස්ගේ පූර්වගාමියාට මොකද වුණේ ?, ඔහු අද එක්සත් ජනපදයේ හිරගේක ඉන්නේ. ඊනියා වාමාංශික ආණ්ඩුවලට පැවැත්මක් නැහැ. ඔවුන් සදාකාලිකව බලයේ ඉන්න සිහින දැක්කත් ඒ සිහින සැබෑ වෙන්නේ නැහැ. විශේෂයෙන් ලංකාවේ ජනතාව ප්රජාතන්ත්ර විරෝධී පාලකයින් ඉවසන්නෙම නැහැ.
- ප්රජාතන්ත්රවාදී මැතිවරණයකින් බලයට පත්වන ආණ්ඩුවකට රාජ්‍ය බලය අල්ලන පුළුවන් ද ?
‘ආණ්ඩු බලය ලැබුණත් රාජ්‍ය බලය ලැබුණේ නැහැ’ කියන ළදරු මානසිකත්වයක් මේ ආණ්ඩුවට තිබෙනවා. ප්‍රජාතනන්ත්‍රවාදී මැතිවරණයකින් හුවමාරු වෙන්නේ, ලබා ගන්න පුළුවන් ආණ්ඩු බලය පමණයි. රාජ්‍ය බලය අල්ල ගන්න නම් විප්ලවයක් සිදුවිය යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටුවිය යුතුයි. මාළිමාව 2024 දී විප්ලවයක්, සන්නද්ධ අරගලයක් හෝ 1971, 88-89 වාගේ කැරැල්ලක් ජයග්‍රහණය කළේ නැහැ. ඉතාම පැහැදිලිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පවත්වපු මැතිවරණයකින් තමයි මාළිමාව 2024 බලය ලබා ගත්තේ. ඒක ඔවුන් මතක තබා ගත යුතුයි. තුවක්කුවෙන්, ත්‍රස්තවාදයෙන් කරන්න නොහැකි වුණ දේ ඔවුන්ට කතිරයෙන් කරන්න බැහැ. දේශපාලනය ගැන අබමල් රේණුවක දැනුමක්, අවබෝධයක්, අත්දැකීමක් නැති කල්ලියකට මේ වගේ බොළඳ හීන තියෙන්න පුළුවන්. ඔවුන් හිතනවා ආණ්ඩු බලය පමණක් මදි රාජ්‍ය බලයත් අල්ල ගත්තට පස්සේ සදාකාලිකව බලයේ ඉන්න පුළුවන් කියලා. එරංග ගුණසේකර පසුගිය දවසක මේකට අදාළ කතාවක් කිව්වා. ඔහු ප්‍රසිද්ධියේ කිව්වා, ග්‍රාම සේවකලා ජවිපෙට අවශ්‍ය ආකාරයට වැඩ කරන්නේ නැතිනම් කොල්ලෝ කුරුට්ටෝ ටිකක් දාලා ග්‍රාම සේවකලා කරමු කියලා, ප්‍රාදේශීය ලේකම් ජවිපෙට අවශ්‍ය ආකාරයට කටයුතු කරන්නේ නැතිනම් කොල්ලෝ කුරුට්ටෝ ටිකක් දාලා ප්‍රාදේශීය ලේකම් කරමු කියලා. එහෙම කරලා රාජ්‍ය බලය අල්ල ගනිමු කියලා. මේ වගේ කතා කොතරම් ප්රජාතන්ත්රවාදී ද කියලා මේ රටේ ජනතාව වටහා ගත යුතුයි. 76 වසරක් පුරා රැකගෙන ආපු ප්රජාතන්ත්රවාදයට තිත තියන්න, ඒකාධිපතිවාදයට පාර කපන්න ජනතාව කැමැති නම් ඒක ජනතාවගේ තීන්දුවක්. හැබැයි ඒ තීන්දුව කිසිසේත්ම ජනතාවගේ හිතසුව පිණිස නම් වෙන්නේ නැහැ. මේ ගෙවී ගිය මාස 18 ඒකට ඇති තරම් සාක්ෂි කියනවා.
- කිසිම මැතිවරණයකින් මැතිවරණ කොට්ඨාශයක් දිනා නොගත් පක්ෂයක්, තිස්සමහාරාමය හැර කිසිම පළාත් පාලන ආයතනයක් දිනා නොගත් පක්ෂයක්, 3%ක ඡන්ද පදනමක් තිබුණ පක්ෂයක් මේ වගේ කතා කරන්නේ කොහොමද ?
අනුර කුමාරගේ ජයග්‍රහණය අහඹු එකක්. ඔහු කිසිමදාක ජනපතිවරණ ජයග්‍රහණයක් අපේක්ෂා කළේ නැහැ. නමුත් 2022 ආර්ථික අර්බුදය සහ අරගලය ලංකාවේ දේශපාලනයේ විශාල විකෘතියක් ඇති කළා. සාම්ප්‍රදායික දේශපාලනයින් ගැන සමාජය තුළ විශාල වෛරයක් ඇති කළා, ප්‍රභූ – නිර්ප්‍රභූ කියලා සමාජය දෙකට බෙදුවා. ප්රභූන්ට විරුද්ධ සටනක් වේදිකාවට ගෙනාවා. ප්‍රභූ දේශපාලනඥයින් රට විනාශ කළ බවට වන මිත්‍යා මතයක් ජනතාවගේ හිත්වලට කා වැද්දුවා. ඒක වඩාත් තාර්කික කිරීමට ආර්ථික අර්බුදය උත්තේජනයක් වුණා. අරගලය තත්ත්වය තවත් විකෘති කළා. ජාත්‍යන්තර ක්‍රමන්ත්‍රණ, විදේශ මැදිහත්වීම් වාගේ බොහෝ දේ සිදු වුණා. ඒ සියල්ල සාම්ප්‍රදායික දේශපාලනඥයින් කෙරෙහි විශාල වෛරයක් ඇති කළා. ඔවුන් දේශපාලනයෙන් අතුගා දැමිය යුතුයි කියලා මතයක් ඇති වුණා. වෙන කාට හෝ ‘දීලා බලන්න ඔ්නෑ’ කියලා මතයක් ඇති වුණා. ඒක තමයි ජවිපෙ 3%ක ඡන්ද පදනම අනුර කුමාරගේ 43%ක ඡන්ද ගොඩ බවට පත් වුණේ.
- ජනතාව අනුර කුමාර ගැන තැබූ විශ්වාසය තව දුරටත් වලංගු ද ?
වර්තමානය වන විට ජනතාවට තේරුම් ගිහින් තිබෙනවා අනුර කුමාර දිසානායකට කරන්න පුළුවන් මොනවද, කරන්න බැරි මොනව ද ? කියලා. රටේ සංවර්ධනයක් වෙන්නේ නැත්නම්, රට ඉදිරියට යන්නේ නැතිනම්, ජීවන වියදම පහළ යන්නේ නැතිනම්, ජනතාවගේ ආදායම වර්ධනය වෙන්නේ නැතිනම් ඒ පාලකයින්ගෙන් ජනතාවට වැඩක් නැහැ. තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ‘හොරු අල්ලන’ ආණ්ඩුකින් ජනතාවට වැඩක් නැහැ. ආණ්ඩුවට ටොන් ගණන් සල්ලි තිබෙනවා කිව්වට ජනතාවට සත පහක වැඩක් නැහැ. ජනතාවගේ කණකර ආභරණ අද බැංකුවල තියෙන්නේ. ආණ්ඩුවේ ටොන් ගණන්වලින් ජනතාවට එක සතයක් ප්රතිලාභ ලැබිලා නැහැ. රාජ්‍ය නිලධාරීන් තීන්දු – තීරණ ගන්නේ නැහැ. මේ ආණ්ඩුව සියලු දෙනාටම ‘මූ හොරා’ කියලා ලේබල් ගහලා ඉවරයි. මේ තත්ත්වය තුළ ආණ්ඩුවට වැඩි ආයුෂ නැහැ. දැන් තියෙන්නේ කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි.
- ‘ආණ්ඩුව හරිම උද්දච්ඡයි’ කියලා විපක්ෂය කියනවා. ඔබත් ඒ චෝදනාව කරනවා ද ?
කිසිම වැඩක් නොකළ, දේශපාලනයක් නොකළ, විවේචනය කිරීම ආගමක කර ගත්ත මේ කල්ලිය බලයට ගෙනාවේ ජනතාවනේ. 68 ලක්ෂයක් ඡන්දය දුන්න ජනතාවනේ. මොවුන් පසුගිය 60 වසර පුරාම කිසිම දේශපාලන බලයක්, වගකීමක් දැරුවේ නැහැ. පරිවාස කාළේ ඇමතිකම් හතරක් ගත්තත් ඒවා අසමත්. කර ගන්න බැරි නිසා දාලා ගියා. 2005 දී මහින්දගේ ආණ්ඩුව හදන්න කඩේ ගියත් ආණ්ඩුවේ වගකීමක් ගන්න කොන්දක් තිබුණේ නැහැ. 2015 දීත් ඒකම කළා. වගකීමක් ගන්න තරම් කොන්දක් තිබුණේ නැහැ. නමුත් 2024 දී අහඹු ලෙස බලය ලැබුණා. නොගෙන ඉන්න බැහැනේ, ගත්තා. ජනාධිපතිවරණ ජයග්රහණයෙන් ඉතාම කෙටි කාලයක් තුළ මහ මැතිවරණ තිබුණ නිසා ආසන 159ක් ලැබුණා. ඒත් මේ 159 තුළ දේශපාලනය කළ අය ඉන්නේ කීයෙන් කී දෙනා ද ?. ඔවුන්ගෙන් අති බහුතරයක් කිසිමදාක දේශපාලන බලය දරලා තිබුණේ නැහැ. දේශපාලන නායකයෙක් ගොඩනැගෙනවා කියන්නේ ඉතාම අසීරු වැඩක්. ඒක හරියට විශේෂඥ වෛද්‍යවරයෙක් වෙනවා වාගේ ඉතාම අසීරු වැඩක්. දේශපාලනඥයෙක් බිහිවෙන්න කාලයක් යනවා. ඔහු විශාල අභියෝග රැසකට මුහුණ දිය යුතුයි. දේශපාලනය කියන්නේ වෙනමම වෘත්තියක්. සාම්ප්‍රදායික දේශපාලනඥයෙක් ප්‍රාදේශීය සභාවේ සිට හෝ පළාත් සභාවේ සිට තමයි ගමන ආරම්භ කරන්නේ. ඔහු ඒ කාලය තුළ ජනතාව සමඟ, රාජ්‍ය නිලධාරීන් සමඟ කටයුතු කරන ආකාරය ඉගෙන ගන්නවා. ජය – පරාජය, ප්රජාතන්ත්රවාදය ගැන පාඩම් ඉගෙන ගන්නවා. නමුත් මේ ආණ්ඩුවේ අති බහුතරය ප්‍රාදේශීය සභාවකවත් ඉදලා නැහැ. ඒ නිසා මේ අහම්බෙන් ලැබුණ බලය මැජික් එකක් ලෙස ඔවුන්ට පේනවා. ඒ නිසා තමයි ඔවුන් මේ ආකාරයට උද්දච්ඡ ලෙස හැසිරෙන්නේ. ජනතාව 2024 දී කටුස්සන්ගේ කරේ රත්‍රං බැන්දා.
- ඔබ මේ ආකාරයට චෝදනා කළත් ජවිපෙ 60 වසරක් පුරාම දේශපාලනය කළා නේද ?
අද ආණ්ඩුවේ බහුතරය නියෝජනය කරන්නේ පැලවත්ත නෙමෙයිනේ. අගමැතිනියගේ සිට, අධිකරණ ඇමැති දක්වා වෙන කල්ලියක් තමයි ආණ්ඩුවේ බහුතරය නියෝජනය කරන්නේ. මේ කල්ලිය වගේම පැලවත්තේ කල්ලියත් අති උද්දච්ඡයි. ඔවුන් ප්රජාතන්ත්රවාදයේ මළපොතවත් කියවලා නැති ගාණට තමයි කටයුතු කරන්නේ. මිනිස්සුට කතා කරන්න දන්නේ නැහැ, ජනමාධ්‍ය සමඟ කටයුතු කරන්න දන්නේ නැහැ, විරුද්ධ මත ඉවසන්නේ නැහැ. කොටින්ම අවුරුදු 60ක් පුරා 3%ක දේශපාලනය කළා කියලා ඔවුන්ට මතක නැහැ. ඒ 60 වසර පුරාම ධනපති පක්ෂ බලයට ගේන්න දරදිය ඇද්දා කියලා මතක නැහැ. මාළිමාවට මුවා වෙලා ආපු උගතුන්, වෘත්තිකයින් පිරිසත් අද පැලවත්තට නොදෙවැනි විදිහට කටයුතු කරනවා. දේශපාලනික සවිඥානිකත්වයක් තිබෙන, ජනතාව ගැන සහ කම්පනයක් තිබෙන ඉතාම සුළු පිරිසක් තමයි මේ ආණ්ඩුව තුළ ඉන්නේ. මේ උද්ච්ඡකමට ජනතාව ඉතාම ඉක්මනින් පාඩමක් උගන්වයි. ඒ ගැන සැකයක් නැහැ.
සටහන – භාතිය බරුකන්ද














