කම්කරු ඇමති සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු
සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල (ETF) කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් පසුගිය දා කැබිනට් මණ්ඩලය ලබා දුන් අනුමැතිය සමාජ මාධ්‍ය තුළ ප්‍රබල විවේචනයකට ලක්ව තිබේ. රුපියල් ට්‍රිලියන 4කට අධික මූල්‍ය වත්කම් හිමි මෙම අරමුදල් ද්විත්ය සම්බන්ධයෙන් මෙවැනි සමාජ අවධානයක් යොමු වීම වැදගත් වුවත් මේ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය වූයේ අදාළ ප්රවෘත්ති සියල්ලම තරයේ ‘ප්‍රතික්ෂේප’ කරන බවයි. ආණ්ඩුව මෙම ප්‍රකාශයේ මේ ආකාරයෙන් දැඩිව ප්‍රතික්ෂේප කරන්නේ ඇයි ?, ඊට පදනම කුමක් ද ?. මේ කම්කරු ඇමති සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඒ සම්බන්ධයෙන් දක්වන ලද අදහසයි.
- සමාජ මාධ්‍ය මෙහෙයුමක්
සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල (ETF) එහි පරිපාලන කටයුතු සහ සේවකයින්ට වඩාත් හොඳ සේවයක් සලසන්නේ කෙසේද යන්න පිළිබඳ කාරණය පදනම් කරගෙන මෑතකදී කැබිනට් පත්‍රිකාවක් එළිදැක්කුවා. නමුත් එහි අරමුණ, ඒ හරහා කුමක් ද කරන්න යන්නේ කියන කාරණා වෙනුවට සමාජමාධ්‍ය මේ කැබිනට් මණ්ඩල ප්‍රතිකාව දැඩිව විවේචනය කරමින් සිටිනවා. මේ හරහා කරන්න යන්නේ කුමක් ?, එහි අරමුණ කුමක් ද ආදි කිසිවක් ගැන නිවැරදි තොරතුරු නොදැන තමයි මේ විවේචන කරන්නේ. මේ වැරදි විවේචන සමහර විට දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිතා කරනවාද දන්නෙත් නැහැ.
විශේෂයෙන් මේ පිළිබඳ ව්‍යාජ සමාජ මාධ්‍ය තුළ තොරතුරු හුවමාරු වීම ඉතාම ප්රබලව සිදුවෙනවා. මේ මොහොත වන විට කැබිනට් පත්‍රිකාව පිළිබඳ වැරදි අවබෝධයක්, විශේෂයෙන් වැඩ කරන ජනතාව අතර, සේවකයින් අතර වැරදි අවබෝධයක් ඇති වන ආකාරයට තොරතුරු හුවමාරු වන නිසා ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි.
සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල (ETF) සම්බන්ධයෙන් රජයක් ලෙස අපට පැහැදිලි අවබෝධයක් තිබෙනවා. සේවකයින් වැඩ කරන්න පුළුවන් මුළු කාලය පුරාම වැඩ කරලා අවසානයේ ලබා ගන්නා ප්‍රතිලාභය තමයි මේ අරමුදල් දෙක. මේ හරහා බොහෝ දෙනෙකුට විශාල මුදලක් හිමි නොවන බවත් අපි දන්නවා. එය ලොකු මුදලක් වුණත්, කුඩා මුදලක් වුණත් වුණත් එය තමයි ඔවුන් විශ්‍රාම ගියාට පස්සේ ජීවිත කාලය පුරාම සැලසුම් කළ දෙවල් ඉටුකර ගන්න යොදා ගන්නේ.
‘මේ මුදල් හොරකම් කරනවා – වැරදියට කළමනාකරණය කරනවා’ කියලා වැරදි ප්‍රවෘත්තියක් සමාජගත වුණොත් ඔවුන් කලබල වීම ඉතාම සාධාරණයි. නමුත් මේ වැරදි තොරතුරු ලබා දෙන කණ්ඩායම් කවුද කියලා අපි දන්නේ නැහැ. නමුත් සේවකයින්ට ඉතාම පැහැදිලිව කියන්න අවශ්‍යයි, සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල (ETF) තුළ තිබෙන ඔබේ සියලු මුදල් ඉතාම සුරක්ෂිතව තිබෙනවා.
මේ අරමුදල් වැරදි ආකාරයට කළමනාකරණය කිරීම සම්බන්ධ ඉතිහාසයක් අපට තිබෙනවා. මේ මුදල් ඉතාම සාවද්‍ය ලෙස කොටස් වෙළෙඳපොළ හරහා ආයෝජනය කරලා මෙම අරමුදල් වල තිබෙන සල්ලි වංචා කළ ආකාරය ජනතාවට අමතක නැහැ. මහ බැංකු බැඳුම්කර වංචාවට සේවක අර්ථ සාධක අරමුල යොදා ගත්ත ආකාරය, එසේම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී යම්කිසි ආකාරයකින් එයට හානිකර බලපෑමක් ඇති වූ ආකාරය ජනතාවට අමතක නැහැ. ඒ කියන්නේ මෙම අරමුදල් අවභාවිතා කළ ආකාරය සම්බන්ධ අතීතියක් තිබෙනවා.
නමුත් අපි වගකිව යුතු රජයක් ලෙස, මහජනතාවගේ ආණ්ඩුවක් ලෙස ඉතාම පැහැදිලිව අවධාරණය කරන්නේ මේ අරමුදල් කිසිම ආකාරයකින් අවභාවිත නොකරන බවයි. ඒ වගේම මේ අරමුදල් වඩාත් කාර්යක්ෂම, පාරදෘශ්‍යභාවයකින් කළමනාකරණය කිරීම තුළින් ජනතාවට අවශ්‍ය සියලුම ප්රතිලාභ ලබා දෙන බවට අපි සහතික වෙනවා.
ඒ කැබිනට් පත්‍රිකාවේ අන්තර්ගතයට කලින්, සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවක අර්ථ සාධක අරමුදලේ අරමුණු සම්බන්ධයෙන් යම් අවබෝධයක් ලබා ගත යුතුයි. සේක අර්ථ සාධක අරමුදල 1958 අංක 15 දරන සේවක අර්ථ සාධක අරමුදල් පනත මඟින් ස්ථාපිත ආයතනයක්. සේවකයෙක් සේවයෙන් විශ්‍රාම ගියාට පස්සේ ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් අදාළ අරමුදල් ලබා ගැනීම සඳහා ‘අනිවාර්ය දායකත්ව’ක්‍රමවේදයක් යටතේ තමයි මෙය ස්ථාපිත කරලා තිබෙන්නේ. ඒ අනුව පුද්ගලික අංශයේ සේවකයින්ට සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයින්ට මේ යටතේ ප්රතිලාභ ලබා ගන්න පුළුවන්.
1958 සිට මේ දක්වා සේවකයින්ගේ අයිතිවාසිකම්, හිමිකම් වෙනුවෙන් ගොඩනැගුණ ධනයේ වත්කම්වල එකතුව 2025 දෙසැම්බර් 31 වැනිදා වන විට රුපියල් බිලියන 4943ක් වෙනවා.
ඒ වගේම මේ අරමුදලේ පරිපාලන කටයුතු ආයතන දෙකක් මඟින් පරිපාලනය වෙනවා. එකක් තමයි කම්කරු දෙපාර්තමේන්තුව, අනෙක් කොටස ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පරිපාලනය වෙනවා.
කම්කරු දෙපාර්තමේන්තුව යටතේ සේවකයින් සහ සේවා යෝජකයින්, හාම්පුතුන් ලියාපදිංචි කිරීමේ කාර්යය කරනවා. ඒ වගේම ඔවුන් අදාළ මුදල් ලබා දෙනවා ද ? යන්න පිළිබඳ අනුකූලතාව පරීක්ෂා කිරීම, නීතිරීති විමසා බැලීම, ඒ වගේම මුදල් අයකර ගැනීම, නීතිමය කටයුතු කිරීම සහ සේවක අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම කම්කරු දෙපාර්තමේන්තුව හරහා සිදුවෙනවා.
මේ අරමුදලේ මූල්‍ය පාලනය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනවා. ප්‍රධාන වශයෙන් මේ අරමුදලේ භාරකාරත්වය තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට. ආයෝජන කළමනාකරණ කමිටුවක් විසින් එය කළමනාකරණය කරනවා. නිසි පරිදි එම ආයෝජන පවත්වා ගෙන යාම, මූල්‍ය පාලනය සහ අවසානයේ සේවකයින්ට එම ප්රතිලාභ ගෙවීමත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරනවා.
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මෙම අරමුදල් කළමනාකරණය කළ යුතු වන්නේ ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ මෙවැනි අරමුදල් අයථා ලෙස කළමනාකරණ කළ ආකාරය සම්බන්ධයෙන් අපට අත්දැකීම් තිබෙන නිසයි. අපේ සේවකයින්ට එවැනි නීරස අත්දැකීම් තිබෙන නිසා මෙම අරමුදල් සම්බන්ධ ඔ්නෑම තොරතුරක් ලැබුණ වහාම කලබල වීම ස්වභාවික වෙන්නත් පුළුවන්.

සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල (ETF)
සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල (ETF) පිහිටුවන්නේ 1980 අංක 46 දරන සේවා නියුක්ති භාර අරමුදල පනත යටතේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ සේවකයා විසින් නොව සේවා යෝජකයා විසින් මේ දායකත්ව මුදල් ලබා දෙන්නේ. මේ අරමුදල තුන් පාර්ශ්වීය පරිපාලන ආකෘතියකින් ක්රීයාත්මක වෙනවා. ඒ අනුව ආණ්ඩුව, සේවා යෝජකයා සහ සේවකයා සම්බන්ධ වෙලා මේ අරමුදල කළමනාකරණය කරනවා. මෙහි පරිපාලන කටයුතු සිදුවෙන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ වීම විශේෂත්වයක්.
2025 දෙසැම්බර් 31 වැනි දින වන විට මෙම අරමුදලේ රුපියල් බිලියන 667ක් තිබෙනවා. මේ අරමුදලේ ප්‍රධාන අරමුණ බවට පත්වෙන්නේ සේවක අයිතීන්, ආර්ථික ප්රජාතන්ත්රවාදය සහ සේවක සුබසාධනය වෙනුවෙන් ඔවුන්ට අදාළ ප්රතිලාභ ලබාදීමයි. එසේම සේවකයින් නොවන අයටත් යම් සමාජයීය ප්රතිලාභ සැලසීමේ අරමුණක් මේ අරමුදලට තිබෙනවා.
- ජාත්‍යන්තර ප්‍රමිතින්
වර්තමාන වන විට ගෝලීය වශයෙන් සේවක අරමුදල් පරිපාලනය කිරීමේ දී ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්රමිතීන් සහ භාවිතයන් ගොඩනැගිලා තිබෙනවා. විශේෂයෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ඉදිරිපත් කර තිබෙන ප්රමිතීන් සහ සම්මුතීන් තිබෙනවා. එහි එක් සම්මුතියක් තිබෙනවා C 1 44 C 144 යන නමින්. ශ්‍රී ලංකාව එය අපරානුමතිය කරලා තිබෙනවා. මේ සම්මුතියෙන් කියන්නේ සේවකයින්ගේ ප්රතිලාභ සම්බන්ධයෙන් පරිපාලන කටයුතු කිරීම තුන් පාර්ශ්වීය මැදිහත්වීමක්, උපදේශකත්වය සහ සමාජ කතිකා සම්මුතිය අපි අපරානුමතිය කරලා තිබෙනවා. ඒ කියන්නේ අපි එකඟතාවකට එනවා වඩාත් හොඳ, පාරදෘශ්‍ය ක්‍රමවේදයකට මේ අරමුදල් පරිපාලනය විය යුතුයි කියලා.
- අරමුදල් අවභාවිතය
මේ ආකාරයේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මෙම අරමුදල් කළමනාකරණය කළ යුතු වන්නේ ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ මෙවැනි අරමුදල් අයථා ලෙස කළමනාකරණ කළ ආකාරය සම්බන්ධයෙන් අපට අත්දැකීම් තිබෙන නිසයි. අපේ සේවකයින්ට එවැනි නීරස අත්දැකීම් තිබෙන නිසා මෙම අරමුදල් සම්බන්ධ ඔ්නෑම තොරතුරක් ලැබුණ වහාම කලබල වීම ස්වභාවික වෙන්නත් පුළුවන්.
- කැබිනට් පත්‍රිකාවේ අරමුණ
මේ කැබිනට් පත්‍රිකාවේ අරමුණ වෙන්නේ පාරදෘශ්‍යභාවයකින් මේ අරමුදල් පරිපාලනය කිරීම, කළමනාකරණය කිරීම සහ ආයෝජන අවස්ථා වැඩි දියුණු කිරීමයි. එසේම ඒ් වගවීම වැඩි දියුණු කිරීම, මහජනතාවගේ විශ්වාසය වැඩි දියුණු කිරීම සහ කාර්යක්ෂම සේවයක් සැපයීම කියන අරමුණු කරගෙන තමයි මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ.
ඒ අනුව නවීන පරිපාලන ක්‍රමවේද ඔස්සේ මෙහි පරිපාලන කටයුතු කරලා, සේවකයින්ට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා මෙම කැබිනට් පත්‍රිකාව පහත සඳහන් යෝජනා ඉදිරිපත් කරනවා.
අංක එක, සාමාජිකයින්ට සම්පූර්ණ නීතිමය ආවරණය ලැබෙන ආකාරයට, නීතිමය සුරක්ෂිතතාවය තහවුරු වන ආකාරයට, අරමුදල්වල මූල්‍ය සුරක්ෂිතතාවය තහවුරු වන ආකාරයට නව, විධිමත්, වගවීමට යටතේ වන පරිපාලන ක්රමවේදයයක් හඳුන්වා දීම.
අංක දෙක, සේවක භාරකාර අරමුදලේ සුභසාධන කටයුතු හා පරිපාලනය වැඩි දියුණු කිරීම හා කාර්යක්ෂම කිරීම. එසේම සේවක අර්ධ සාධක අරමුදලේ පරිපාලන කටයුතු ඒකාබද්ධ කිරිම. (කම්කරු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ තිබූ).
මෙහි දී විශේෂ කරුණක් වෙත අවධානය යොමු කළ යුතුයි. සේවක අර්ධ සාථක අරමුදලේ කළමනාකරණ කටයුතු ඒකාබද්ධ කිරීම සම්බන්ධ යෝජනාව ඉතාම සාවද්‍ය ආකාරයට, නොමග යවන සුළු ආකාරයට සමාජ ගත වුණා. එයින් පෙන්වා දීමට අදහස් කළේ මෙම අරමුදල් දෙක ඒකාබද්ධ කිරීම යන බවයි. නමුත් ඉතාම පැහැදිලිව මේ කැබිනට් මණ්ඩල පත්‍රිකාවේ සඳහන් වන්නේ සේවක අර්ථ සාධක අරමුදල පරිපාලනය කරන කම්කරු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර කටයුතු ඒකබද්ධ කිරීම පමණයි. මෙය තව දුරටත් පැහැදිලි කරන්නේ නම් කම්කරු දෙපාර්තමේන්තුවේ කටයුතු සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු යම් විධිමත් ක්‍රමවේදයකට ඒකාබන්ධ කිරීමයි මෙහි අරමුණ වෙන්නේ. එසේම සේවක භාරකාර අරමුදලේ කටයුතු ඒකාබද්ධ කිරීමට ‘සක්‍යතාව අධ්‍යනය කිරීම’ තමයි මෙහි අරමුණ වුණේ.
මේ සම්බන්ධ කමිටුවට පත්කරන්නේ අපි දන්න, අපට හිතවත් කවුරුත් නොවෙයි, ඒ වගකීම් දරන අමාත්‍යාංශ ලේකම්වරු සහ අමාත්‍යාංශ නිලධාරීන් පමණයි. මේ කමිටුවේ සභාපතීත්වය දරන්නේ කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා. ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, මහ බැංකුවේ නියෝජිතයෙක්, සේවක භාරකාර මණ්ඩලයේ නියෝජිතයෙක් සහ කම්කරු දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙක් මේ කමිටුවට පත්කර තිබෙනවා.

- කැබිනට් අනුමැතිය
ඉහත දක්වන ලද යෝජනා දෙක ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලබාදීම සිදු වුණා. වඩා හොඳ ක්‍රමවේදය සොයා ගැනීමට අධ්‍යයනයක් කරලා, සියලු පාර්ශ්වයන්ගෙන් කරුණු විමසීමක් කරලා මාස හතරක් තුළ වාර්තාවක් ලබා දෙන්න කියලා කැබිනට් මණ්ඩලය නියම කළා.
මේ සම්බන්ධ කමිටුවට පත්කරන්නේ අපි දන්න, අපට හිතවත් කවුරුත් නොවෙයි, ඒ වගකීම් දරන අමාත්‍යාංශ ලේකම්වරු සහ අමාත්‍යාංශ නිලධාරීන් පමණයි. මේ කමිටුවේ සභාපතීත්වය දරන්නේ කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා. ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, මහ බැංකුවේ නියෝජිතයෙක්, සේවක භාරකාර මණ්ඩලයේ නියෝජිතයෙක් සහ කම්කරු දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙක් මේ කමිටුවට පත්කර තිබෙනවා.
මේ කාරණයට අදාළ වන විද්වත් කමිටුවකින් තමයි මේ වාර්තාව සකස් කරලා දෙන්නේ. මේ කමිටුව පත් කළාට තවමත් අදාළ වාර්තාව ලැබිලා නැහැ. අපිත් ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. නමුත් සමාජ මාධ්‍ය සහ විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයෝ කියනවා ‘මේ කමිටු වාර්තාවේ මෙන්න මේ දේවල් තිබෙනවා’ කියලා. ‘මේ කමිටුව මෙන්න මේ දේවල් කරන්න යනවා’ කියලා මනංකල්පිත දේවල්, හිතළු සමාජ ගත කරමින් සිටිනවා. මේක ඉතාමත් වැරදි පියවරක්. ඔබට පුළුවන් මේ වාර්තාව ආවට පස්සේ මේ වාර්තාවේ අන්තර්ගත කරුණුත් එක්ක සංවාදයකට එන්න. මෙහි අඩුපාඩු තිබෙනවා නම් අපි ඒ ගැන සංවාද කරමු. මෙයින් අදහස් වෙන්නේ නැහැ එය සංවාදයකින් තොරව ක්‍රියාත්මක කරනවා කියලා. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා ඒ අනුව තමයි අපි නිසි තීන්දු තීරණ ගන්නේ. එය මහජනතාවට, සේවකයින්ට, සේවා යෝජකයින්ට, මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඔ්නෑම පාර්ශ්වයකට විවෘත වෙනවා. ඒ නිසා මම නැවතත් ඔබ යෝජනා කරනවා, ‘දන්නේ නැති තොරතුරක් මත, උපකල්පිත තොරතුරක් මත, වැරදි තොරතුරු සමාජගත වීම මත ඔබ ක්‍රියාකාරී වෙන්න එපා. වැරදි තොරතුරු සමාජගත කරන්න එපා. සේවකයින් තමන්ගේ දහඩිය මහන්සියෙන් උපයා ගත් මේ වත්කම් සම්බන්ධයෙන් වැරදි අදහසක් සමාජ ගත කරලා සමාජය නොමග යවන ප්‍රකාශවලට දායක වෙන්න එපා කියලා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ කමිටු වාර්තාව ආවට පස්සේ අපි හොඳ සාකච්ඡාවක් කරලා මෙහි අරමුණ වුණ, වඩාත් පාරදෘශ්‍යභාවය, මූල්‍ය පරිපාලනය වැඩි දියුණු කිරීම තුළින් සේවකයින්ට වඩාත් හොඳ ප්රතිලාභ ලබා දෙන, සමාජ ආරක්ෂණභාවය වඩාත් හොඳින් තහවුරු වන වැඩපිළිවෙළකට අපි යමු. ඒ වෙනුවෙන් ආණ්ඩුව කටයුතු කරනවා කියන සහතිකයත් මම ලබා දෙනවා.
සටහන – භාතිය බරුකන්ද














