
සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
කලවාන ප්‍රධාන බස් නැවතුම්පොල සිංහරාජ අඩවිය පිළිබඳ තොරතුරු ලබා ගත හැකි ස්ථානයක් බවට පත් කර ජනතාවට විවෘත කිරීම 2026 මැයි මස 24 වන දින සිදු කෙරින. සිංහරාජය වටා පිහිටි නගර අතුරින් ප්‍රධාන නගරය වන කලවාන නගරය හරහා බොහෝ දෙස් විදෙස් සංචාරකයන් පිරිසක් සිංහරාජ ලෝක උරුම වනාන්තරය නැරඹීමට පැමිණේ. මීට අමතර ව සිංහරාජය වටා පිහිටි ගම්මානවල ජීවත් වන ජනතාවගෙන් වැඩි පිරිසක් භාවිත කරන ප්‍රධාන නගරය වන්නේ කලවාන ය. මේ නිසා කලවාන නගරයේ බස් නැවතුම්පොල සිංහරාජ අඩවියේ ජෛව විවිධත්වය, පාරිසරික වැදගත්කම හා සංරක්ෂණ අවශ්‍යතාවය පිළිබඳ ජනතාවට අවබෝධය ලබා දිය හැකි ස්ථානයක් බවට පත් කිරීම අප ගේ අරමුණ විය.
ඒ සඳහා වන පළමු යෝජනාව ඉදිරිපත් කළේ සබරගමුව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ කලවාන පර්යන්ත පාලක අරවින්ද ලක්මාල්, කලවාන නගර සංවර්ධන පදනමේ සභාපති රාජිත චතුරංග පිටිගල සහ පිටිගලකන්ඳ හා මන්නවත්ත ප්‍රදේශයේ පදිංචි සිංහරාජ අඩවිය ආරක්ෂා කර ගැනීම සඳහා ඉතා හොඳ අවබෝධයකින් කටයුතු කරන උපාලි ජයවර්ධන විසිනි. ඔවුන් ගේ හා අප ගේ සංකල්ප මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පදනම සකස් විය.
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය යටතේ ක්‍රියාත්මක කරන නිවර්තන වැසි වනාන්තර සංරක්ෂණය සඳහා පාරිසරික ගොවිතැනේ සංකල්ප හා කෘෂි වන වගාවේ සංකල්ප භාවිත කර තේ වගා බිම් බහු බෝග වගා බිම් බවට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙය ක්‍රියාත්මක කෙරින.

සිංහරාජ අඩවිය ආරක්ෂා කිරීම සඳහා එහි වටිනාකම් මෙන් ම පාරිසරික ගොවිතැනේ සංකල්ප පිළිබඳ ව ඒ අවට ජනතාව ගේ මෙන් ම සිංහරාජය නැරඹීමට පැමිණෙන ජනතාව ගේ අවබෝධය වර්ධනය කිරීම පදනම් කර ගෙන කලවාන ප්‍රධාන බස් නැවතුම්පොල ප්‍රදර්ශන පුවරුවලින් අලංකාරවත් කිරීම සිදු කෙරින.
මේ කාර්ය සඳහා කලවාන ප්‍රාදේශීය සභාවේ සභාපති සුමිත් ප්‍රියන්ත සෝමදාස ඇතුළු කාර්ය මණ්ඩලය මෙන් ම, සබරගමුව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, කලවාන නගර සංවර්ධන පදනම හා කලවාන බස්රථ යාළු එකමුතුව එක් විය.
මෙම ප්‍රදර්ශන පුවරු සකස් කිරීම සඳහා ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය සතු ඡායාරූපවලට අමතර ව උරග හා උභයජීවී පර්යේෂක උයද චානක, පොතුපිටිය මහා විද්‍යාලයේ භූගෝල විද්‍යා ආචාර්ය හා අඹගහකන්ද සිංහරාජ සුමිතුරෝ සංවිධානයේ පර්යේෂක ශාලිත් කරුණාරත්න, විසින් ලබා ගත් ඡායාරූප මෙන් ම රඹුක්කන සුජාතා විද්‍යාලයේ චිත්‍ර ගුරුවරියක වන ඉනෝකා දිල්රුක්ෂි ද හේරත් විසින් අදින ලද සිතුවම් භාවිත කර මෙම ප්‍රදර්ශන පුවරු සකස් කෙරින. ඒ සඳහා අවශ්‍ය සටහන් සැකසුම, නිර්මාණ සැලැසුම හා මුද්‍රණය කර සකස් කිරීමට අවශ්‍ය මූල්‍යමය දායකත්වය ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය විසින් සිදු කෙරින.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සබරගමුව පළාත් සජීවීකාරක එම්. නවරත්න, ජාතික පාරිසරික පදනමේ සභාපති සුරංග බුද්ධික, අඹගහකන්ඳ සිංහරාජ සුමිතුරෝ සංවිධානයේ සභාපති සනත් වසන්ත ඇතුළු කණ්ඩායම ඉතා හොඳ දායකත්වයක් ලබා දුන්නේ ය.
සිංහරාජය නැරඹීමට යන පාසැල් දරු දැරියන් ඇතුළු සියළු දෙනාගෙන් අප ඉල්ලා සිටින්නේ කලවාන බස් නැවතුම්පොලට පිවිස මෙම ප්‍රදර්ශන පුවරු නරඹා සිංහරාජය ඇතුළු වැසි වනාන්තර ආරක්ෂා කර ගැනීම පිළිබඳ ව ඔබ ගේ අවබෝධය වර්ධනය කර ගෙන මෙම වනාන්තර ආරක්ෂා කර ගැනීමට ඔබ ගේ දායකත්වය ලබා දෙන ලෙස ය.














