විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව රැස්වෙයි

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් විය.

අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය ප්‍රමාදයකින් තොරව විනාශ කිරීමට අවශ්‍ය වන නීති සංශෝධනය කිරීම පිළිබඳ මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූ අතර, එම නීති සංශෝධනවල අවසාන අදියර කඩිනමින් සම්පූර්ණ කිරීමටත් අවධානය යොමු විය.

මෙහිදී අදාළ නීති සංශෝධනයට අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවේ යෝජිත නීති සංශෝධන සහ එහි නෛතික රාමුව ජාතික සභාවේ අවධානයට ලක් කරන ලදී.

අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය ප්‍රමාදයකින් තොරව විනාශ කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරුණු අතර, ඒ පිළිබඳව ජාතික සභාවේ අදහස් සහ යෝජනාද ඉදිරිපත් කෙරිණි.

අදාළ නව සංශෝධන ඉදිරියේදී නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

නිශාන්ත ප්‍රනාන්දු රදගුරු හිමිපාණන්, සිවා ශ්‍රී වේලු සුරේෂ් ශර්මා කුරුක්කල්තුමා, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්ම මහත්මීහු සහ අදාළ අමාත්‍යාංශ ලේකම්වරු සහ ආයතන ප්‍රධානීහුද, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ නියෝජිතයෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website