විදේශ රැකියාවල නියුතු දෙමාපියන්ගේ ‘දිවා සුරැකුම් මධ්‍යස්ථානවල’ සිටින දරුවන්ට මාසිකව රු.10.000ක දීමනාවක්

විදේශ රැකියාවල නියුතු දෙමාපියන්ගේ වයස අවුරුදු 2-13 අතර වන දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිටී නම් ඔවුන්ට මසකට රු. 10,000/- ක දීමනාවක් ගෙවීමට තීරණය කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ  නිලධාරීහු කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පැවසූහ.

එම කාරක සභාව අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ගරු නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) නාමල් සුදර්ශන මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ  අවස්ථාවේදී නිලධාරීහු මේ බව සඳහන් කළහ.

කුඩා දරුවන් සිටින කාන්තාවන් විදේශගත වීම හේතුවෙන් සමාජය තුළ පැන නගින ගැටලු සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස  මීට පෙර කාරක සභාවේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී  (දේශීය කටයුතු) වෙත මෙම කාරක සභාව ලබා දුන් උපදෙස්වල ප්‍රගතිය විමසීමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීහු මේ බව පවසා සිටියහ. මේ අනුව විදේශ රැකියාවල නියුතු දෙමාපියන්ගේ මාසික ආදායම ඇ. ඩො. 400ට වැඩි නම් මෙම දීමනාව හිමි වන බවත්,  ඒ සඳහා මූලිකව රු. මිලියන 10ක මුදලක් වෙන් කර ඇති බවත් එම නිලධාරීහු පැවසූහ. 

එසේම, මීට අදාළ අනුමතිය ලබා ගැනීමේ  කටයුතු අවසන් අදියරේ පවතින බවත්, ඉන්පසු  දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා අදාළ පිළිගත් දිවා සුරැකුම් මධ්‍යස්ථානයට මාසිකව ගෙවීම් සිදු කළ හැකි බවත් ඔවුහු සඳහන් කළහ. වඩාත් සාධනීය පියවරක් ලෙස හඳුනාගත හැකි මෙය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස කාරක සභා සභාපතිනි ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය මෙහිදී පෙන්වා දුන්නාය. 

පෙර පැවති කාරක සභාවේදී උපදෙස් ලබා දුන් පරිදි පොලිස් නිලධාරිනියන්ගේ පුරප්පාඩු පිරවීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කෙරුණු අතර මේ වන විට උපපොලිස් පරීක්ෂකවරියන් 50 දෙනෙකු බඳවා ගැනීමට සහ පොලිස් කොස්තාපල්වරියන් 2600 දෙනෙකු බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා ඇති බව අනාවරණය විය. එසේම  දමිල භාෂාව කතා කළ හැකි පොලිස් නිලධාරිනියන් බඳවා ගැනීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රචාරණ වැඩසටහන් ආරම්භ කර ඇති බවත් ‍ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් පැමිණි නිලධාරිනියක් කාරක සභාවට පැවසුවාය. 

දමිළ භාෂාව කතා කළ හැකි පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ පුරප්පාඩු පවතින බැවින් ඒ පිළිබඳව ද විශේෂ අවධානය යොමු කළ යුතු බව කාරක සභා සභාපතිනිය අවධාරණය කළාය. දමිළ මාධ්‍යයෙන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය අවසන් කළ සිසු සිසුවියන්ව මේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා පියවර ගන්නා ලෙස ද කාරක සභා සභාපතිනිය මෙහිදී උපදෙස් ලබා දුන්නාය. 

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සහ අනෙකුත් ආයතන සතු මෙරට ළමුන්ට අදාළ සියලු දත්ත එ්කරාශී කොට ජාතික දත්ත පද්ධතියක් සැකසීමට අදාළ ප්‍රගතිය පිළිබඳව ද කාරක සභා සභාපතිවරිය කරුණු විමසීම් කළාය. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් දත්ත පද්ධතියක් සැකසීමේ එම කටයුතු  මෙම වසර තුළ අවසන් කිරීමට හැකි වනු ඇතැයි ද ඇය සඳහන් කළාය.

ළමා අපයෝජන සිද්ධීන්ට අදාළව නීතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා සහය වීම සහ ඉන්පසු ඇති වන තත්ත්වයන් කළමනාකරණය කිරීම සඳහා අදාළ සියලු ආයතන කඩිනමින් හා මනා සම්බන්ධීකරණයකින් යුතුව ක්‍රියාත්මක විමේ අවශ්‍යතාව කාරක සභාවේදී අවධාරණය කෙරිණි.  ඒ අනුව,  ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු සියලු ආයතන නියෝජනය කරන නිලධාරීන් එකම කණ්ඩායමක් ලෙස  සහයෝගයෙන් යුතුව කටයුතු කළ යුතු බව  ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පෙන්වා දුන්නාය.

කාන්තාවන්ට සහ ළමුන්ට එරෙහි අපයෝජන හෝ වෙනත් සිද්ධීන් සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීම හෝ වෙන යම් අඩුපාඩු පිළිබඳව ඕනෑම මොහොතක තමාට පෞද්ගලිකව දුරකථනයෙන් හෝ වට්ස්ඇප් මාර්ගයෙන් දැනුම් දිය හැකි හැකි බවත්, හැකි ඉක්මණින් ඒ සඳහා මැදිහත් වීමට පියවර ගන්නා බවත් කාරක සභා සභාපතිනිය පැවසුවාය. 

පෙර පාසැල් ගුරු දීමනාව වැඩි කිරීම, සෑම පෙර පාසැල් දරුවෙකුටම උදෑසන ආහාරය නොමිලේ ලබා දීම සහ පෙර පාසැල් ගුරුවන්ට දායක විශ්‍රාම වැටුපක් ලබා දීම සඳහා ලබන වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරිය සදහන් කළාය. 

රජයේ රැකියාවන්හි නියුතු කාන්තාවන් ස්ථාන මාරු කිරීමේදී ඇති වන ප්‍රායෝගික ගැටලු, පෙර පාසැල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන නියාමනය ආදී කරුණු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. 

එසේම  කාන්තා හා ළමා කටයුතුවලට අදාළව පවතින ගැටලු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් කාරක සභාවේ අවධානයට ඉදිරිපත් කළ අතර කාරක සභාව විසින් ඒවා පිළිබඳව නිලධාරීන්ගෙන් කරුණු විමසා අදාළ පියවර ගන්නා ලෙස උපදෙස් දෙන ලදී.  

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එම්.ඩී.ටී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු  නිලධාරීහු පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website