පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 17 වැනි දින කොළඹ 7 පිහිටි කාර්මික තාක්ෂණ ආයතනයේ (Industrial Technology Institute) නිරීක්ෂණ චාරිකාවක නිරත විය.එහිදී කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) වත්මන් තත්ත්වය, එහි ඇති පහසුකම් සහ පවතින ගැටලු පිළිබඳව නිරීක්ෂණය කිරීම සිදුවිය.
මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ වූයේ උක්ත ආයතනයෙන් සමාජයට සිදුවන කාර්යභාරය සහ එහි සැබෑ තත්ත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම හා රජයේ වැඩ පිළිවෙලට මෙම ආයතනය මගින් ලබා දිය හැකි දායකත්වය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම වන අතර මෙය සංවර්ධනීය අපේක්ෂාවෙන් කරනු ලබනන්නක් බව කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී කාරක සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.
මෙම ආයතනය මෙරට ඇති ඉහළම මට්ටමේ පර්යේෂණාගාර සහ පරීක්ෂණාගාර පහසුකම් සහිත පර්යේෂණ (Research) හා පරීක්ෂණ (Testing) යන දෙක සඳහාම පහසුකම් ඇති ලංකාවේ පවතින එකම ආයතනය වේ. කාර්මික තාක්ෂණ ආයතනයේ ප්‍රතීතනය (Accreditation) සහ ජාත්‍යන්තර පිළිගැනීම, ආයතනය සතු සුවිශේෂී තාක්ෂණික හැකියාවන් විශේෂ පරීක්ෂණ සේවා සහ පහසුකම්, ගල් අඟුරු පරීක්ෂාව පිළිබඳ ගැටලුව (Coal Testing) සහ ඖෂධ සහ ලිහිසි තෙල් පරීක්ෂණාගාර අඩපණ වීම ආදී කරුණු පිළිබඳව මෙහිදී කාරක සභාවේ අවධානය යොමු විය.
කාර්මික තාක්ෂණ ආයතනය තුළ පර්යේෂණ හා සංවර්ධන (R&D) අංශ 6ක් සහ පරීක්ෂණ සේවා සපයන අංශ 7ක් ක්‍රියාත්මක වන අතර එහි ඖෂධ (pharmaceutical), ද්‍රව්‍ය (material), රසායන ද්‍රව්‍ය (chemical), ක්ෂුද්රජීව විද්‍යා (microbiology) පරීක්ෂණ , ක්‍රමාංකනය (calibration), විද්‍යුත් තාක්ෂණය (Electrotechnology) අවශේෂ (Residue) සම්බන්ධ පරීක්ෂණ සිදු කරනු ලබන බව එහිදී අනාවරණය විය.
පරිසර ආරක්ෂණ බලපත්‍ර (Environmental Protection License) සඳහා පහසුකම් සැලසීම, කර්මාන්තකරුවන්ට අවශ්‍ය කර්මාන්තශාලා සැලසුම් (Factory Layout) සහ යන්ත්‍රෝපකරණ උපදෙස් ලබා දීමද මෙම ආයතනය විසින් සිදු කරනු ලබයි.
ප්‍රතීතනය (Accreditation) සහ ජාත්‍යන්තර පිළිගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු අනාවරණය වූ අතර ආයතනයේ විශ්වසනීයත්වය තහවුරු කරන ප්‍රධාන සාධකය වන්නේ ප්‍රතීතනය වන බවත් ආයතනය ISO 17025 (2017) ජාත්‍යන්තර ප්‍රමිතිය අනුගමනය කරන බවත් මෙහිදී අනාවරණය විය.
මුල් කාලයේ ස්වීඩනයේ SWEDAC ආයතනයෙන් ප්‍රතීතනය ලබාගත් නමුත්, 2013 සිට ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය (SLAB) හරහා ජාත්‍යන්තරව පිළිගත් ප්‍රතීතනය ලබා ගන්නා අතර දැනට ආයතනය සතුව ජාත්‍යන්තරව පිළිගන්නා විශේෂිත පරාමිතීන් 1035කට අධික සංඛ්‍යාවක් සඳහා ප්‍රතීතනය පවතී. ITI ආයතනය ජාතික වශයෙන් වැදගත් පරීක්ෂණ රැසක් සිදු කරනු ලබන අතර ආහාර, ජලය (ආසනික් වැනි), ඖෂධ සහ විලවුන් (රසදිය අන්තර්ගතය වැනි) පරීක්ෂා කිරීමේ පහසුකම් පවතී.
විදේශයන්ට අපනයනය කරන තේ, එළවළු සහ පළතුරුවල අඩංගු පළිබෝධනාශක අවශේෂ (Pesticide Residue) පරීක්ෂා කිරීම සඳහා රුපියල් මිලියන 143ක් වටිනා අතිනවීන උපකරණයක් මෑතකදී එක් කර ඇති බව මෙහිදී අනාවරණය විය.
එමෙන්ම මහාමාර්ග (Highways) සහ කර්මාන්තශාලා සඳහා අවශ්‍ය ශබ්ද පරීක්ෂණ (Sound Testing) සහ ධ්වනි සැලසුම් නිර්මාණය කරන්නේද මෙම ආයතනය විසින් වන අතර, ලංකාවට ගෙන්වන ගල් අඟුරු පරීක්ෂාව පිළිබඳ ගැටලුව (Coal Testing) සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු මතුවිය.
දැනට ලංකාවට ගෙන්වන ගල් අඟුරු පරීක්ෂා කිරීමට විදේශීය ආයතන වෙත මාස හයක කාලයක් සඳහා රුපියල් මිලියන 32ක් පමණ ගෙවීමක් සිදු කරනු ලැබේ. ITI ආයතනයේ නිලධාරීන් පෙන්වා දුන්නේ රුපියල් මිලියන 350ක පමණ මූලික ප්රග්ධනයක් ආයෝජනය කිරීමෙන් (උපකරණ 14ක් ඇතුළුව) මෙම පරීක්ෂණ පහසුකම ප්‍රතීතනය සහිතව මෙම ආයතනය තුළම ඇති කළ හැකි බවයි.
නොරොච්චෝල විද්‍යාගාරය සතුව ප්‍රතීතනය (Accreditation) නොමැතිවීම හේතුවෙන් එහි වාර්තා ජාත්‍යන්තරව හෝ අධිකරණයකදී පිළි නොගන්නා බව මෙහිදී අනාවරණය විය.එය ස්වාධීන තුන්වන පාර්ශවීය පරීක්ෂණාගාරයක් (Third-party independent lab) නොවීමද ගැටලුවක් බව මෙහිදී සාකච්ඡා විය.
ඖෂධ සහ ලිහිසි තෙල් පරීක්ෂණාගාර අඩපණ වීම හේතුවෙන් විගණන විමසුම් රැසක් මේ වන විටත් ආයතනය වෙත ලැබී ඇති බවත් රජයේ මුදල් වැය කර ස්ථාපිත කළ ඇතැම් පහසුකම් ප්‍රයෝජනයට නොගැනීම බරපතල තත්ත්වයක් බවත් රජයේ නිර්දේශයන්ට අනුව මෙලෙස මෙම රසායනාගාර ස්ථාපිත කළ බවත් මෙහිදී අනාවරණය විය.
එමෙන්ම රුපියල් මිලියන 99ක භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ 2019 දී ස්ථාපිත කරන ලද ඖෂධ පරීක්ෂණාගාරය ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සමඟ එකඟතාවන් නොමැතිවීම හේතුවෙන් අඩපණව (Underutilized) පවතින බවත් 2017-2020 කාලය තුළ රුපියල් මිලියන 117ක් වැය කර ඛනිජ තෙල් හා ලිහිසි තෙල් පරීක්ෂණාගාරයක් ඉදි කළද, තෙල් සාම්පල ලබා ගැනීමේ ක්‍රමවේදයක් නොමැති වීම නිසා එයින්ද නිසි ප්‍රයෝජන ගෙන නැති බවත් මෙහි දී අනාවරණය විය.
ඖෂධ පරීක්ෂාව සම්බන්ධයෙන් වන ප්‍රධාන ගැටලුව වන්නේ “නියාමකයා සහ පරීක්ෂකයා වෙන් විය යුතුයි” (Separation of regulator and tester) යන WHO නිර්දේශය නොසලකා හරිමින්, නියාමන ආයතන විසින්ම පරීක්ෂණ සිදු කිරීම බවත් එහිදී “ලබැඳියාවන් පිළිබඳ ගැටුමක්” (Conflict of Interest) පවතින බවත් අනාවරණය විය.
රජයේ පරීක්ෂණ කටයුතු සඳහා ITI වැනි ප්‍රතීතනය ලත් රජයේ ස්වාධීන ආයතනයක් භාවිතා කිරීම දිරිමත් කරමින් නීතිමය යාන්ත්‍රණයක් සකස් විය යුතු බවට සාකච්ඡාවේදී එකඟවූ අතර එය මහජන විශ්වාසය (Public Confidence) තහවුරු කිරීමටත්, ජාත්‍යන්තර ප්රමිතීන් (WHO වැනි) අනුගමනය කිරීමටත් හේතු වනු ඇත.
මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. කේ. එම් අස්ලම්, ගරු නීතීඥ නිලන්ති කොට්ටහච්චි, ගරු සමන්මලී ගුණසිංහ, ගරු (වෛද්‍ය) එස්. ශ්‍රී බවනන්දරාජා, ගරු රුවන් මාපලගම, ගරු අසිත නිරෝෂණ එගොඩවිතාන, ගරු චන්දිම හෙට්ටි ආරච්චි යන මහත්ම මහත්මීහු සහභාගි විය.












E-Paper