ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුව AI Impact 2026 සමුළුව සඳහා සහභාගි වීමට නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමුළුවට සමගාමීව අද (18), හෙට (19) සහ අනිද්දා (20) දිනයන්හිදී හමු වීම් රැසකට එක් වීමට නියමිතය.
ඒ අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිත, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති Sergio Gor මහතා අතර හමුවක් අද (18) පෙරවරුවේ සිදු විය.
මේ අතර, AI Impact 2026 සමුළුව සඳහා සහභාගි වීමට නවදිල්ලි නුවරට පැමිණ සිටින රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් පිරිනමන විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයටද ජනාධිපතිවරයා අද (18) එක් වීමට නියමිතය.
කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් AI Impact 2026 සමුළුව රාජ්‍ය නායකයන් සහ ලොව තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් නවදිල්ලි නුවර Bharat Mandapam සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (19) සමුළුව ඇමතීමට නියමිතය.
ජනාධිපතිවරයා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ විශේෂ හමුවකටද එක් වීමට නියමිත අතර සමුළුවට සහභාගි වීම සඳහා නවදිල්ලි නුවරට පැමිණ සිටින රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමඟද ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක් වනු ඇත.













