සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ කාලීන සමාජ සංවාද මාලාවේ 258 වැනි කතිකාව පසුගිය සති අන්තයේ ‘තොරතුරු දැනගැනීමේ කොමිසමේ අනාගතය’ යන තේමාව යටතේ පවත්වනු ලැබුවේය. මෙවර කතිකාවේ සම්පත්දායකයින් ලෙස මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය, නීතිඥ අචලා සෙනෙවිරත්න සහ මාධ්‍යවේදී රාහුල් සමන්ත සහභාගී වූ අතර මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා විසින් සංවාදය මෙහෙයවනු ලැබුවේය. එම සංවාදය ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.
2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද්දේ විශේෂයෙන්ම සිවිල් සමාජයේ සහ පුරවැසි සංවිධානවල බලවත් ඉල්ලීමක් හා බලපෑමක් මතය. එසේම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ද තොරතුරු දැන ගැනීමේ අයිතිය අලුත් මූලික අයිතිවාසිකමක් ලෙස මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදයට ඇතුළත් කළේය.
2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ස්ථාපිත කරන ලද තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂම තොරතුරු අයිතිවාසිකම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීම සඳහා දායකත්වය දක්වන්නේය.
එහෙත් මෑතක සිට තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂම අකර්මන්‍ය කිරීමට හෝ උදාසීන කිරීමට හෝ කොමිෂමට ‘පල නොකියා පළා බෙදන’ තත්ත්වයක් ඇති කර ඇතැයි යන කතිකාවක් සමාජය තුළ තිබේ.

මේ ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ කිරීමට තරම් විභවයක් නැහැ – මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය
ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම දිනා ගැනීමට දීර්ඝ ඉතිහාසයක් තිබේ. මුලින්ම ‘කොළඹ ප්‍රකාශනයේ’ මේ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් විය. එවකට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කටයුතු කළ ආචාර්ය රොහාන් එදිරිසිංහ, අසංක වැලිකල සහ වරුණ කරුණාතිලක තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම සම්බන්ධ පළමු කෙටුම්පත සම්පාදනය කිරීමට විශාල දායකත්වයක් ලබා දුන්නේය. මෙහිදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය එක්ව කටයුතු කළ අතර පළමු කෙටුම්පත ද සම්පාදනය කිරීමට ද පියවර ගත්තේය. මෙසේ කෙටුම්පත් කළ තොරුතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පළමු කෙටුම්පත අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට භාර දීමට සුනන්ද දේශප්‍රිය ඇතුළු පිරිස කටයුතු කළේය.
- සම්මුති බද්ධ දේශපාලනයක්
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම කෙටුම්පත 2004 වසරේ තිබුණ අවසන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.
“ඔහුට ඒක ඊට පෙර කරන්න තිබුණා” සිය මතකය අවධි කරමින් සුනන්ද දේශප්‍රිය පැවසුවේය.
මෙහිදී සුනන්ද පෙන්වා දුන්නේ බලයේ සිටි කිසිම ආණ්ඩුවක් තොරතුරු නිදහසට සහාය දක්වා නැති බවයි.
“ඒ බව තොරතුරු කොමිෂම පසුගිය නොවැම්බර් මාසයේ ප්‍රසිද්ධියට පත්කළ වාර්තාවේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. අනුප්‍රාප්තික ආණ්ඩු තොරතුරු කොමිෂමට මූල්‍ය ස්වාධීනත්වය ලබා නොදු න් බව ද එහි සඳහන් වෙනවා” සුනන්ද කීවේය.
මෙහි දී සුනන්ද පෙන්වා දුන්නේ යම්කිසි ආණ්ඩුකරණ යාන්ත්‍රණයකට ස්වාධීනත්ව ක්ෂේත්‍ර තුනක් තිබිය යුතු බවයි. ඒ අනුව ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික වශයෙන් ආණ්ඩුකරණ යාන්ත්‍රණයට ස්වාධීනත්ව ක්ෂේත්‍ර තුනක් පවතින බව ඔහු පෙන්වා දුන්නේය.
මෙහිදී දේශපාලන ස්වාධීනත්වය ලැබීමට නම් අදාළ පුද්ගලයින් ජනාධිපතිවරයා විසින් පත් කිරීමේ දී සම්මුති බද්ධ දේශපාලනයක් තුළ අදාළ පත් කිරීම් කළ යුතු බව ඔහු අවධාරණය කළේය.
“තමන්ගේ තනි කැමැත්තට පුද්ගලයෙකු පත් කිරීමට විධායක ජනාධිපතිවරයාට බලය තිබුණාට ඒක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය නෙමෙයි. තොරතුරු කොමිෂමේ වත්මන් සභාපති දයා ලංකාපුර කියන්නේ මාත් එක්ක දීර්ඝ කාලයක් සමීපව වැඩ කළ මිත්‍රයෙක්. නමුත් ඔහු පත් කිරීමට පෙර තොරතුරු කොමිෂමේ සභාපතිවරයා ලෙස පත් කිරීමට ගියේ දූෂිත පුද්ගලයෙක්, රාජපක්ෂ ආණ්ඩුවත් සමඟ සමීපව කටයුතු කළ පුද්ගලයෙක් තමයි දාන්න ගියේ. නමුත් ජනමාධ්‍ය ඔහුට විරුද්ධව විශාල ව්‍යාපාරයක් ගෙන ගිය නිසා තමයි අදාළ තනතුරට ඔහුව පත් කිරීමට නොහැකි වුණේ. ලංකාපුර මහත්මයා පුද්ගලයෙක් වශයෙන් නරක පුද්ගලයෙක් නෙමෙයි. නමුත් සම්මුති බද්ධ දේශපාලනය තුළින් තමයි එම තනතුරට පුද්ගලයෙක් පත් කරන්න තිබුණේ. ඒ නිසයි මම ලංකාපුර මහතාගේ පත්වීමට විරුද්ධ වුණේ. ඒක කිසිසේත්ම පුද්ගලික ප්‍රශ්නයක් නොවෙයි. මම යළි කියන්නේ ජනාධිපති එයාගේ තනි කැමැත්තට සභාපතිවරයෙක් පත් කළා. ඒ කියන්නේ එහි දේශපාලන ස්වාධීනත්වය නැහැ” යැයි කී සුනන්ද තොරතුරු කොමිෂමට මූල්‍ය ස්වාධීනත්වය නොමැති බව පසුගිය නොවැම්බර් මාසයේ නිකුත් කළ නිවේදනය මඟින් තොරතුරු කොමිෂඹ කියන බව ද සඳහන් කළේය.
‘එයාලාට බැරිම තැන තමයි එවැනි ප්‍රකාශයක් කළේ” සුනන්ද තම නිරීක්ෂණ තව දුරටත් පැහැදිලි කරමින් කීවේය.
- ගැටලු රැසක්
තොරතුරු කොමිෂමට ප්‍රමාණවත් තරම් නිලධාරීන් නොමැති බව සුනන්ද පෙන්වා දුන්නේය.
තොරතුරු කොමිෂමේ කොමසාරිස්වරයෙක් ලෙස දීර්ඝ කාලයක් සේවය කළ නීතිඥ ජගත් ලියන ආරච්චි මහතා ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ද සුනන්ද මෙහි දී සඳහන් කළේය.
“ජගත් ලියන ආරච්චි වාගේ අය අයින් වෙන කොට අපට හිතෙනවා මේකේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති කියලා’ සුනන්ද කීවේය.
මේ වන විට තමා ද ජනාධිපති කාර්යාලයේ තොරතුරු ඉල්ලා ලිපි දෙකක් ලබාදී ඇති බව හෙළි කළ සුනන්ද දේශප්‍රිය, මේ දක්වා අදාළ තොරුතුරු ඉල්ලීම සම්බන්ධයෙන් කිසිම තොරතුරක් ජනාධිපති කාර්යාලයෙන් ලබා දී නොමැති බව කී සුනන්ද මෙම තත්ත්වය දැඩිව විවේචනය කළේය.
“තොරතුරු ඉල්ලමින් අරගල කිරීම, අභියාචනා කිරීම මේ වැඩෙත් එක්ක ඉන්න කෙනෙක්ට ඒක කරන්න පුළුවන්. නමුත් අපි වගේ පුද්ගලයෙක්ට මේ ක්‍රියාවලිය පස්සේ දුවන්න වෙලාවක් නැහැ. අපි වගේ වැඩත් එක්ක ඉන්න මිනිහෙක් යම්කිසි තොරුතුරු ඉල්ලීමක් ඉදිරිපත් කළත් කාලයත් එක්ක ඒක අමතක වෙලා යනවා. අභියාචනා කරමින් කාලය ගත කරන්න අප වැනි පුද්ගලයින්ට කාලයක් නැහැ. ඒ නිසා අපි ආණ්ඩුව සහ තොරතුරු කොමිෂම දෙස බැලිය යුත්තේ කිසියම් සංදර්භයක් තුළයි” සුනන්ද වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
- ස්වාධීන ආණ්ඩුකරණය
වාමාංශික ආණ්ඩු ස්වාධීන ආණ්ඩුකරණයට කැමැත්තක් නොදක්වන බව අවධාරණය කළ සුනන්ද ඒ සඳහා සිරිමාවෝ බණ්ඩාරනායක නායකත්වය දුන් 1970-77 සමගි පෙරමුණ ආණ්ඩුව උදාහරණයක් ලෙස උපුටා දක්වනු ලැබුවේය. එම ආණ්ඩුව නිදහස් හා ස්වාධීන පරිපාලන සේවය ‘නැති කර’ දේශපාලන නායකත්වය ආණ්ඩුකරණය තුළට ගෙන ආ බව කී සුනන්ද ලෝකයේ සෙසු වාමාංශික ආණ්ඩු ද ඊට නොවෙනස් බව කීවේය.
මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කළ සුනන්ද දේශප්‍රිය මෙසේ ද පෙන්වා දුන්නේය, “මම හිතන විදිහට මේ ආණ්ඩුවත් බලන්නේ තමන්ට කැමැති විදිහට වැඩ කරන්න. ඔවුන් මහජනයා බලගතු වීමට ඉඩ දෙන්නේ නැහැ. මේ පසුබිම තුළ ජාතික ජන බලවේගය ආණ්ඩුවේ ප්‍රතිපත්ති දෙස බලන විට අපට ගැටලු ගණනාවක් පේනවා. විගණකාධිපති ධුරය සම්බන්ධ ප්‍රශ්න, පොලිස් කොමිෂම සම්බන්ධ ප්‍රශ්න තිබෙනවා. ජනාධිපති කාර්යාලයෙන් තොරතුරක් ඉල්ලුවට ඒක ලබා දෙන්නේ නැහැ. මහජනතාව එක්ක සහයෝගී ප්‍රතිපත්තිමය සම්බන්ධයක් මේ ආණ්ඩුව ප්‍රදර්ශනය කරන්නේ නැහැ. මේ පදනම තුළ තමයි තොරතුරු කොමිෂමේ අනාගතය ගැන බය හිතෙන්නේ”
තොරතුරු කොමිෂම තුළ උද්ගතව ඇති මෙම අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද අවධානය යොමු කළ බව කී සුනන්ද එම සංගමය ජනපතිවරයාට මේ ගැන ලිඛිතව දැනුම් දුන් බව ද කීවේය.
“ඒත් එම ලිපියට පවා පිළිතුරක් නැහැ” සුනන්ද කීවේය.
ක්‍රම වෙනසක් වෙනුවෙන් පත්කර ගන්නා ආණ්ඩුවක් සිවිල් සමාජය විසින් කරන ඉල්ලීම් වලට කඩිනමින් ප්‍රතිචාර දැක්විය යුතු බව ඔහු අවධාරණය කළේය.
“මම හිතන්නේ මං වාගේ තවත් විශාල පිරිසක් ඇති තොරතුරු ඉල්ලීමක් කළාට පස්සේ ඒක නොලැබුණොත් ඒක අමතක කරලා දාන” සුනන්ද සඳහන් කළේය.
තොරතුරු කොමිෂම නැතිකර ගැනීමට කිසිම අවශ්‍යතාවක් නැති නමුත් මේ සම්බන්ධයෙන් සිවිල් සමාජය තුළ ප්‍රමාණවත් උනන්දුවක් නොමැති බව ද ඔහු පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරමින් සුනන්ද මෙසේ ද සඳහන් කළේය, “මාධ්‍ය සංවිධාන, සිවිල් සමාජය සහ විපක්ෂය මීට වඩා මේ ගැන මැදිහත් විය යුතු නමුත් විපක්ෂය මේ ගැන කතා කරන්නෙම නැහැ. ඒකට හේතුව තමයි ආණ්ඩු බලය ගන්න උත්සාහ කරන කිසිම දේශපාලන පක්ෂයක් මේ පනතට කැමති නැහැ. ඒකට හේතුව තමයි මේක මහජනතාව බලගතු කරන පනතක්, ඒ නිසා මහජනතාව විසින් ම මේ පනත රැක ගැනීම අත්‍යවශ්‍යයි. අද වන විට තොරතුරු කොමිෂම ලොකු අනතුරකට ලක්වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ආණ්ඩුවට කිව යුතු දේ තමයි, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම වෙනසක් සඳහා ආණ්ඩුව වැඩ කර ගෙන යනවා නම් තොරතුරු කොමිෂම ස්වාධීන කරන්න, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික යන පැති තුනෙන්ම ඒක කළ යුතුයි. ආණ්ඩුව එසේ නොකළොත් මහජනතාවට මේ අයිතිය ලැබෙන්නේ නැහැ”.
- ස්වාධීනත්වය තහවුරු කිරීම
තොරතුරු කොමිෂමට අවශ්‍ය මුදල් වෙන් කිරීම ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ සිදුවීම සහ අවසානයේ එම මුදල් මහා භාණ්ඩාගාරය හරහා අනුමත වීම තුළ තොරතුරු කොමිෂමේ ස්වාධීනත්වයට සිදුවන බලපෑම ගැන මෙහිදී ලසන්ත ද සිල්වා සුනන්ද දේශප්‍රියගෙන් වැඩි දුර පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියේය.
“තොරතුරු කොමිෂම පසුගිය නොවැම්බර් මාසයේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ ඉතාම පැහැදිලිව මූල්‍ය ස්වාධීනත්වය ගැන කතා කරලා තිබෙනවා. රේඛීය අමාත්‍යාංශයක් හරහා තොරතුරු කොමිෂමට මුදල් ලබා නොදිය යුතු බවත් ඒ සඳහා ස්වාධීන අරමුදලක් තිබිය යුතු බවත් ඔවුන් එම ලිපියේ සඳහන් කරනවා. මේ ප්‍රශ්නයම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවටත් තිබෙනවා. එම කොමිෂමත් පසුගිය දා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කිව්වා අල්ලස් කොමිෂමටත් මූල්‍ය ස්වාධීනත්වයක් නැහැ කියලා. මම හිතන ආකාරයට තොරතුරු කොමිෂම නිකුත් කළ මෙම ලිපියට ආණ්ඩුව නිසි ප්‍රතිචාරයක් දැක්විය යුතුයි. ඒ අනුව රේඛීය අමාත්‍යාංශය හරහා මුදල් ලබා දීමක් නොකර තොරතුරු කොමිෂමට ස්වාධීනව මුදල් ලබා ගත හැකි ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතුයි”
මෙහිදී සුනන්ද පෙන්වා දුන්නේ තොරතුරු කොමිෂමේ මූල්‍ය ස්වාධීනත්වය තහවුරු කිරීමට එම පනත සම්මත කළ යහපාලන ආණ්ඩුව පවා පියවර නොගත් බවයි.
මේ සම්බන්ධ සිය ස්ථාවරය තව දුරටත් පැහැදිලි කළ සුනන්ද දේශප්‍රිය මෙසේ ද පැවසුවේය, “අලුත් ආණ්ඩුවක් පත් කළේ පරණ ආණ්ඩු කළ දේවල්ම කරන්න නෙමෙයිනේ. විපක්ෂය අතුගාලම දැම්මේ වෙනසක් බලාපොරොත්තුවෙන්. අනෙක් අතට ‘සල්ලි නැති නිසා මේක කළා’ කියලා වත්මන් ආණ්ඩුවට කියන්නම බැහැ. මොකද ආණ්ඩුව තමන්ගේම වරද නිසා මහා විනාශයක් ඇති කළ දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට ඇති තරම් සල්ලි බෙදන්න පටන් ගත්තා. ආණ්ඩුවට මුදල් තිබෙනවා. ආණ්ඩුවට අවශ්‍ය නම් තොරතුරු කොමිෂම ශක්තිමත් කරන්න පුළුවන්. නමුත් බලයට පත්වෙන කිසිම ආණ්ඩුවක් මේකට කැමැති නැහැ. ජනතාව සහ ආණ්ඩුව වෙනස්. බලයට පත්වෙන ඕනෑම කෙනෙක් බලන්නේ තමන්ගේ රහස් වහ ගන්න. වත්මන් ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකයේ නිලධාරීන්ගේ නම් ඉල්ලුවට තාම ඒක දීලා නැහැ. ඇයි මේ නාම ලේඛනය නොදෙන්නේ ?, දිගටම ඒක නොදී ඉන්න නම් තොරතුරු කොමිෂම අඩපණ කළ යුතුයි, ඒකට තමන්ගේ හෙංචයියෝ දා ගන්න ඕනෑ. අපි දන්නවා ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ සාමාජිකයින්ගේ ධුර කාලය තව සති කිහිපයකින් අවසන් වෙනවා. ඉන්පසු ඒකට සිවිල් සමාජ සාමාජිකයින් පත් කළ යුතුයි. නමුත් මේ දක්වා ඒකට අදාළව අයදුම්පත් පවා කැඳවලා නැහැ”.
- ජවිපෙට එරෙහිව ජජබ
වත්මන් ආණ්ඩුව විපක්ෂයේ සිටිය දී කී දේවල් සහ ආණ්ඩු බලය ලබා ගත් විට කරන දේවල් අතර සම්පූර්ණ වෙනසක් ඇති බව පෙන්වා දුන් සුනන්ද වත්මන් ආණ්ඩුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ අපේක්ෂා කළ නොහැකි බව ද කීවේය.
“මේ ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ කිරීමට තරම් විභවයක් නැහැ. ඒ විභවය පසුගිය වසර තුළ සැලකිය යුතු ලෙස අහෝසි වෙලා තිබෙනවා. අපට එන්න එන්න ආණ්ඩුවේ ඒ විභවය අහෝසි වන බවක් පේනවා. ඒ නිසා මේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට මහජනතාව සහ සිවිල් සමාජය පියවර ගත යුතුයි, වැඩ කළ යුතුයි. මේ ආණ්ඩුව ඒක කරලා දෙන්නේ නැහැ” සිය අදහස් දැක්වීම අවසන් කරමින් සුනන්ද දේශප්‍රිය දැඩිව අවධාරණය කළේය.

මේක තොරතුරු කොමිෂමට බන්දේසියේ තියලා දුන්න දෙයක් නෙවෙයි – නීතිඥ අචලා සෙනෙවිරත්න
තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත සම්මත කළේම මහජනතාවට තොරතුරු ලබා ගැනීමට අයිතිය ලබාදීමටය. නමුත් ප්‍රායෝගික තත්ත්වයේ දී පනතේ කුමක් සඳහන් වුව ද අපේක්ෂිත අරමුණ ඉටු නොවන බවය.
“මෙම කියන්නේ මේ පනතේ අඩුපාඩු අඩුයි. නමුත් එය ක්‍රියාත්මක කරන ආයතනයේ ඉන්න නිලධාරීන් සහ ආයතනික කටයුතු කිරීම පසුගිය කාලය පුරා ඉතාම අක්‍රමවත්වයි සිදු වුණේ. ඔවුන් පනතේ අරමුණුවලට සම්පූර්ණයෙන්ම පටහැනි ආකාරයට තමයි කටයුතු කළේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තියට ඇතුළත් කර තොරතුරු අයිතිය තව දුරටත් තහවුරු කිරීමට තමයි තොරතුරු පනත සම්මත කළේ. නමුත් එහි ක්‍රියාකාරීත්වය ඉතාම අක්‍රමවත්” කතිකාව සංවාදයට ප්‍රවේශයක් ගනිමින් නීතිඥ අචලා සෙනෙවිරත්න සඳහන් කළේය.
- විවේචනයක්
මෙහි දී ඇය සඳහන් කළේ ඇයට මේ සම්බන්ධයෙන් ‘යම් විවේචනයක්’ තිබෙන බවයි. තොරතුරු පනත රැක ගත යුතු බව යළි අවධාරණය කළ නීතිඥ අචලා, තොරතුරු ලබාදීමට නීතියෙන් බැඳී සිටින අදාළ ආයතන බරපතළ ලෙස තොරතුරු පනත අවභාවිත කර ඇති බව පැහැදිලිව පෙනී යන බව ද කීවාය.
“අද අප කියන ආකාරයට තොරතුරු පනත අභාවයට යන්න මේ අවභාවිත කිරීම හේතුවක් වුණා කියලා හිතන්න පුළුවන්. මේක විනාශ වීමට හේතුවක් ලෙස මම දකින්නේ මේ තොරතුරු පනත ක්‍රියාත්මක කළ පුද්ගලයින් කටයුතු කළ ආකාරයයි”.
මෙහිදී ඇය යම්කිසි තොරතුරක් ලබා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රමවේදය ද පැහැදිලි කළාය. මෙම ක්‍රියාවලියේ මුලින්ම සිටින ‘තොරතුරු නිලධාරියා’ අදාළ තොරතුරු ඉල්ලීමට ප්‍රතිචාර දක්වන ආකාරය පැහැදිලි කළ නීතිඥ අචලා කීවේ තොරතුරු නිලධාරියා මුලින්ම කරන්නේ අදාළ තොරතුරු ලබා නොදී සිටීමට හැකි ආකාරයක් සොයා බැලීම බවයි.
- පනතේ තිබුණට භූමියේ නෑ
“තොරතුරු ලබාදිය යුතු බව පනතේ තිබුණත් අදාළ තොරතුරු නිලධාරියා බලන්නේ ඉල්ලා සිටි තොරතුරු ලබා නොදී ඉන්නේ කොහොම ද? කියලා කල්පනා කරන එකයි. ඔහු තොරතුරු ලබා නොදෙන විට අපි ‘නම් කළ නිලධාරියා’ ළඟට යනවා. එතනත් ක්‍රියාපටිපාටිය එහෙමමයි. අවසානයේ අපට යන්න තියෙන්නේ තොරතුරු කොමිෂන් සභාවට. නමුත් එතන මොකද වෙන්නේ ?, එතැන ඉතාම අක්‍රමවත්. ඔවුන් තොරතුරු ලබා දීමට වඩා තොරතුරු ලබා නොදීමටයි කටයුතු කරන්නේ. මෙහි දී මගේ ප්‍රශ්නය තමයි, සමහරු පනතේ අඩුපාඩු ගැන කතා කරනවා. නමුත් තොරතුරු පනත හරියට ක්‍රියාත්මක වුණා ද ? කියලා මම ඔවුන්ගෙන් ප්‍රශ්න කරනවා” මෙහිදී නීතිඥ අචලා පෙන්වා දුන්නේ තොරතුරු ඉල්ලීමක් කර, එය ලබා නොදීම හේතුවෙන් ද සැලකිය යුතු කාලයක්, ඇතැම් විට දිර්ඝ කාලයක් අදාළ පුද්ගලයාට බලා සිටීමට සිදුවන බවයි. ඊට පසුව එහි ඉදිරි පියවර ලෙස තොරතුරු කොමිෂමට ගිය විට එහි අක්‍රමවත් කටයුතු අදාළ පුද්ගලයා තව දුරටත් පීඩාවට පත්කරන ආකාරය ඇය පැහැදිලි කළාය.
මේ සම්බන්ධයෙන් තව දුරටත් සිය ස්ථාවරය පැහැදිලි කරමින් නීතිඥ අචලා කීවේ තොරතුරු අයිතිය බන්දේසියක තබා ලැබුණු දෙයක් නොවන බවයි, “මහජනතාවට තොරතුරු ලබා දෙන්න තියෙන කොමිෂන් සභාව මොකද කරන්නේ ?, අදාළ ඉල්ලීමේ කුමක් හෝ සුළු අඩුපාඩුවක් සොයා ගෙන, තාක්ෂණික දෝෂයක් සොයා ගෙන, ඉතාම සුළු අඩුපාඩුවක් සොයා ගෙන තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරනවා. මේක මම පසුගිය කාලය පුරා දැක්ක තත්ත්වයක්. තොරතුරු අයිතිය කියන්නේ ඔවුන්ට බන්දේසියේ තියලා ලබා දුන්න අයිතිවාසිකමක් කියලා හිතා ගෙන තමයි තොරතුරු කොමිෂම කටයුතු කරන්නේ. නමුත් මේ පනත බන්දේසියේ තියලා ලැබුණ දෙයක් නොවෙයි. කාලාන්තරයක් තිස්සේ පුරවැසියන්ගේ ඉල්ලීම්, සමාජ ක්‍රියාකාරීන්ගේ දැඩි ඉල්ලීම් හා ක්‍රියාකාරීත්වයන් මත තමයි මේ අයිතිවාසිකම මහජනතාවට ලැබුණේ. නමුත් තොරතුරු කොමිෂමේ නිලධාරීන් සහ අදාළ ආයතනවල තොරතුරු නිලධාරීන් මේක ‘තමන්ට තිබෙන වරප්‍රසාදයක්’ ලෙස සලකා කටයුතු කරන ආකාරය අපි දකිනවා. ඔවුන් ඉතාම පැහැදිලිව ‘බෙදා වෙන් කරමින්’ තමයි තොරතුරු ලබාදීම කරන්නේ”
- පොදු අධිකාරිය
ජනතාව තොරතුරු ලබා ගන්නේ පොදු අධිකාරියක් යටතේය. ඇතැම් අවස්ථාවල එකම පොදු අධිකාරියක අවස්ථා ගණනාවක් යටතේ තොරතුරු ලබා ගැනීමට සිදුවේ. නමුත් එක් වරක් තොරතුරු ලබා ගැනීමට පොදු අධිකාරියට යන පුද්ගලයා, ඒ හා සමානම තවත් තොරතුරක් ලබා ගැනීමට එකී පොදු අධිකාරියටම ගිය විට එකී ආයතනවල සහ තොරතුරු නිලධාරියාගේ කොමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වය කුමක් ද ? කියා නීතිඥ අචලා ප්‍රශ්න කළාය.
“මම මේ කතා කරන්නේ මම ප්‍රායෝගිකව අත්දැකපු දේ. මේවා සාක්ෂි, සාධක සහිතව ඔප්පු කරන්න පුළුවන්” ඇය කීවාය.
මෙහිදී තොරතුරු ලබා ගැනීමේ ක්‍රියාවලිය තුළ මුහුණපෑමට සිදුවන ප්‍රායෝගික දුෂ්කරතා ශ්‍රී ලංකා යුධ හමුදාව ආදර්ශයට ගනිමින් ඇය දීර්ඝව පැහැදිලි කළාය.
“පොදු අධිකාරියක් සම්බන්ධයෙන් තොරතුරු කොමිෂන් සභාවට ක්‍රියාකාරීත්වයක් තිබෙනවාද ? යන ගැටලුව අපට තිබෙනවා. තොරතුරු ලබා නොදෙන පොදු අධිකාරීන් සම්බන්ධයෙන් අවම වශයෙන් කොමිෂන් සභාව නිර්දේශයක්වත් කරන්නේ නැහැ. මේ තත්ත්වය තුළ තොරතුරු කොමිෂමට ඇති බලතල ගැන අපට ප්‍රශ්න කරන්න, සැක කරන්න සිදුවෙනවා” නීතිඥ අචලා සෙනෙවිරත්න වැඩි දුරටත් පෙන්වා දුන්නාය.

මේ වන විට තොරතුරු ලබා නොදීමේ ප්‍රවණතාවක් වර්ධනය වෙමින් තිබෙනවා – මාධ්‍යවේදී රාහුල් සමන්ත
තොරතුරු කොමිෂම සහ පනත ආරක්ෂා කර ගැනීමට නම් කොමිෂමේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය. එසේම තොරතුරු කොමිෂමේ සිය අනෙක් රාජ්‍ය ආයතනවල තාක්ෂණික හැකියාවන් තව දුරටත් දියුණු කළ යුතු අතර විශේෂයෙන් අන්තර්ජාල පහසුකම් සහ අන්තර්ජාලය හා පරිගණක සාක්ෂරතාව වර්ධනය කිරීමට පියවර ගත යුතුය.
“පනත අනුව ඊමේල් ලිපියක් හරහා තොරතුරු ඉල්ලුම් කරන්න පුළුවන්. නමුත් ඒක හරිම අමාරුයි. ඊමේල් ලිපිය ලැබුණ ද කියන එක තහවුරු කර ගන්න ලියාපදිංචි ලිපියක් යවනවාට වඩා මුදලක් සහ කාලයක් වැය කරන්න අපට සමහර අවස්ථාවල සිදුවෙලා තියෙනවා. ඒ ගැන අපට අත්දැකීම් තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශය, අපදා කළමනාකරණ මධ්‍යස්ථානය වගේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට යොමු කළ ඊමේල්වලටත් මේ ආකාරයේ ප්‍රතිචාරම තමයි අපට ලැබුණේ” තොරතුරු ඉල්ලා රාජ්‍ය ආයතනයකට ඊමේල් පණිවුඩයක් යැවීමේ දී ඇති වන බරපතළ දුෂ්කරතා සහ ගැටලු ගැන පැහැදිලි කරමින් රාහුල් කීවේය.
- මහජන දැනුවත් භාවය
මෙහිදී රාහුල් පෙන්වා දුන්නේ තොරතුරු අයිතිවාසිකම පිළිබඳව මහජන දැනුවත්භාවය තව දුරටත් පුළුල් කිරීමේ වගකීමක් සමාජය හමුවේ තිබෙන බවයි.
“මාධ්‍යවේදීන් ලෙස, සිවිල් සමාජ සාමාජිකයින් ලෙස අපි මේ ගැන දැනුවත්ව සිටියත් සාමාන්‍ය ජනතාව අතර එවැනි දැනුවත්භාවයක් නැහැ. තොරතුරු කොමිෂම ශක්තිමත් කිරීමට නම්, ස්වාධීන කිරීමට නම් ජනතාව අතරිනුත් තල්ලුවක් ලබා දිය යුතුයි. ඒකට හේතුව තමයි අනෙක් නීති වගේ නොවෙයි, තොරතුරු පනත ක්‍රියාත්මක කරන්නේ පුරවැසියන් විසිනුයි. පුරවැසියා මේ නීතිය ක්‍රියාත්මක නොකරන තාක් කල් මේ නීතිය ශක්තිමත් වෙන්නේ නැහැ. පුරවැසියා මේ ක්‍රියාවලියෙන් ඈත් වුණොත්, ඉවත් වුණොත් මේක තව දුරටත් දුර්වල වෙනවා කියලා මට හිතෙනවා. ඒ කියන්නේ සම්මත කරන ලද තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ නීතිය වෙනුවෙන් අපි තව දුරටත් සටන් කළ යුතුයි. මොන ආණ්ඩුව තිබුණත් ඒක කළ යුතුයි” සිය අත්දැකීම් හෙළි කරමින් රාහුල් පෙන්වා දුන්නේය.
- මෑතකාලීන ප්‍රවණතා
මෙහිදී රාහුල් පෙන්වා දුන්නේ 2005, මහින්ද රාජපක්ෂ යුගයේ සිට තමන් ඇතුළු මාධ්‍ය සඟයින් ආණ්ඩුවේ සහ රාජ්‍ය ආයතනවල තොරතුරු ලබා ගත් බවයි. පනත සම්මත වූ පසු එය තව දුරටත් තීව්‍රර කළ බව කී ඔහු තමා පුද්ගලිකව තොරතුරු ලබා ගැනීමේ ඉල්ලීම් 3800කට වඩා ඉදිරිපත් කළ බව ද හෙළි කළේය.
“මෑතක සිට ශෝචනීය තත්ත්වයක් තිබෙනවා. තොරතුරු ඉල්ලා අපි යොමු කරන ඉල්ලුම්පත් වලට නිසි පිළිතුරු නොලැබීම සහ තොරතුරු නොදීම කියන කාරණා දෙකම මේ වන විට බහුලව සිදුවෙනවා. මෙහි ඇති බරපතළම කාරණය තමයි පනතේ 05 වැනි වගන්තිය විශාල වශයෙන් අවභාවිත කරනවා. මේ වගන්තිය තමයි අවභාවිතා කරන්නේ. ඒ වගේම පුරවැසියා නොමග යවන්නේ. අපි මේ වගන්තියෙන් නොමග ගියත්, මේ ගැන වැඩිය කරුණු නොදන්නා පුද්ගලයෙක්ට ‘මේක ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් වෙනවා’ කියන වචන කිහිපය දැම්මොත් ඒ මනුස්සයා බය වෙනවා. මේ වගේ බය වුණ මිනිස්සු අපට ඕනෑ තරම් කතා කරලා තියෙනවා. මේක හිරේ දානවා වාගේ බයක් ඔවුන් තුළ ඇති කරන්නේ. ජාතික තලයේ තොරතුරු ඉල්ලන නිසා අපට මේ වාගේ ප්‍රතිචාර වැඩියෙන් ලැබෙනවා” යැයි කී රාහුල් මේ වකවානුව තුළ 05 වන වගන්තිය බහුලව අවභාවිත වන බව ද කීවේය.
“හොඳම සහ ආසන්නම උදාහරණය ජනාධිපති ලේකම් කාර්යාලය. පසුගිය ජනවාරීයේ ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපත් කළ ඉල්ලුම් පත්‍රය වෙනුවෙන් මම මේ වන විට තොරතුරු කොමිෂමට හත් පාරක් ගිහින් තිබෙනවා, ලිඛිත කරුණු දැක්වීම් පස් පාරක් කරලා තිබෙනවා. මේ ආකාරයෙන් පස් පාරක් ලිඛිත කරුණු දැක්වීම් කරන්න වුණේ ඇයි ?. මට මුලින්ම කිව්වේ ජාතික ආරක්ෂාවට, පුද්ගලිකත්වයට බරපතළ අගතිගාමීත්වයක් කරනවා කියලා. ජනාධිපති ලේකම් කාර්යාලය මුලින්ම තොරතුරු ලබාදීම මග හැරියේ ‘ජාතික ආරක්ෂාව‘ කියන කාරණය මතයි. මේ හරහා තොරතුරු ඉල්ලුම්කරුට යම්කිසි බලපෑම් කිරීමක් සහ තොරතුරු ලබාදීමට කල් ගැනීමේ වුවමනාව ඉටු වෙනවා. මේ වැඩේ ඉදිරියට ගියොත් තොරතුරු කොමිෂමටම යන්න වෙනවා” රාහුල් සමන්ත තොරතුරු ලබා ගැනීමේ දී මුහුණ දීමට සිදුවන අභියෝග, දුෂ්කරතා සහ ගැටලු සම්බන්ධයෙන් සිය අත්දැකීම් මත දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් පෙන්වා දුන්නේය.
සටහන – තුෂාල් විතානගේ












