ඉන්දියානු ආයෝජකයින්ට සහ චිත්‍රපට නිෂ්පාදකයින්ට ඇමැති විජිත කළ ආරාධනය

ඉන්දියානු ආයෝජකයන්ට සහ චිත්‍රපටි නිෂ්පාදකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපෘති ආරම්භ කිරීමට සහ චිත්‍රපටි නිෂ්පාදනය කිරීමට පැමිණෙන ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ආරාධනා කළේ ය.

ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය විසින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංචාරක සබඳතා ශක්තිමත් කිරීම උදෙසා ඊයේ (19) සංවිධානත්වය කර තිබූ වැඩසටහනේ දී අමාත්‍යවරයා මෙම ඉල්ලීම කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයෙන් අනතුරුව සංවිධානය කරන ලද මෙම සාකච්ඡාව, සංචාරක සහයෝගීතාව සහ ආයෝජන ප්‍රමාණය වැඩි කිරීම කෙරෙහි අපට තිබෙන ඒකාබද්ධ උනන්දුව මින් පිළිබිඹු වේ.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මෙසේ ද පැවසුවේය. “මෑත වසරවලදී, ඉන්දියාව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සඳහා විශාලතම වෙළඳපොළයි. ශක්තිමත් ගුවන් සම්බන්ධතාවයක් සහ සංස්කෘතික බැඳීම් මගින්, අප දෙරට ස්වභාවිකවම සංචාරක හවුල්කරුවන් වේ.

සංචාරක ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කේන්ද්‍රීය අංශයකි. මෙම සතියේ, අප රටට පැමිණි මිලියන දෙකක් සනිටුහන් කරන සංචාරකයා අප පිළිගත් අතර, මේ වසර අවසන් වන විට මිලියන 2.4 – 2.5 අතර සංචාරක පැමිණීමක් අපේක්ෂා කරමු. එය අප සංචාරක ක්ෂේත්‍රයේ ඓතිහාසික සන්ධිස්ථානයක්. 2030 වන විට, අපි සංචාරකයින් මිලියන හතරක් සහ ඇමරිකානු ඩොලර් බිලියන 8ක ආදායමක් අපේක්ෂා කරමු.

මෙම ඉලක්කයට ළඟා වීම සඳහා, ශ්‍රී ලංකාව තිරසාරභාවය, වෙළඳපළ විවිධාංගීකරණය, ශක්තිමත් ගුවන් සම්බන්ධතා සහ ඩිජිටල් පරිවර්තනය යනාදිය සඳහා ප්‍රමුඛත්වය දී ඇත. මීට අමතරව “සංචාරක ව්‍යාපාරයේ අනාගතය පිළිබඳ රියාද් ප්‍රකාශනය”ට අනුකූලව ජාතික සංචාරක සැලසුම්කරණයට AI සහ ඩිජිටල් මෙවලම් ඒකාබද්ධ කිරීම ඇතුළු ගෝලීය ප්‍රවණතා එකතු කරගැනීමටත් අප සූදානමින් සිටිමු.

මෑත කාලය තුළ ඉන්දියානු සංචාරක පැමිණීම් ඉහළ ගොස් තිබෙන අතර ඒ සඳහා නිදහස් වීසා ප්‍රවේශ පහසුකම සහ ඉලක්කගත ප්‍රවර්ධන වැඩසටහන් හේතු පාදක විය. ඒ අනුව ඉන්දියානු සංචාරකයින් සඳහා ‘කෙටි-දුර ගමනාන්ත’ අතරින් ඉහළම ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පිළිගැනීමට ලක් වී ඇත.

මේ වන විට අපි නාගරික විවේකයන්, වෙරළ, උරුම මාර්ගයන්, MICE සංචාරක ව්‍යාපාරය, ගමනාන්ත විවාහ, චිත්‍රපට සංචාරක ව්‍යාපාරය සහ ක්‍රිකට් සංචාරක ව්‍යාපාරය ආදිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත්තෙමු. ඉන්දියානු නගර පුරා අප දියත් කළ සංදර්ශන, B2B ක්‍රියාකාරකම් සහ ගුවන් සේවා හවුල්කාරිත්වයන් මෙම සාර්ථකත්වය සඳහා මග පාදන ලදි.

අපගේ වසර 2,500ක සම්බන්ධතාවය සලකා බැලීමේ දී, බෞද්ධ චාරිකා සහ රාමායන මංපෙත් ඇතුළුව ආගමික සංචාරක ව්‍යාපාරයේ සැලකිය යුතු අවස්ථාවක් පවතින බව හඳුනාගත හැකි ය. ඒ අනුව ආගන්තුක සත්කාර ව්‍යාපෘති ආරම්භ කිරීමටත්, උත්සව අවස්ථා සහ චිත්‍රපට නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකාවට තව තවත් පැමිණෙන ලෙසත් ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකයින් සහ ආයෝජකයින්ව දිරිමත් කරමු. අපි එක්ව ක්‍රියා කරන විට ශ්‍රී ලංකා – ඉන්දියානු සහයෝගීතාව වඩාත් ශක්තිමත් වේ. ඒ අනුව අද පවත්වනු ලබන මෙම වැඩසටහන නව අවස්ථා විවර කිරීමටත් සංචාරක ක්ෂේත්‍රයේ අපගේ හවුල්කාරිත්වය තීව්‍ර කිරීමටත් හේතු වනු ඇතැයි මම විශ්වාස කරමි”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website