මෙරට බහුතරයක් ළමා ශ්‍රමිකයින් හමුවන්නේ වතුකරයේ වුවත් වර්තමානය වන විට සංචාරක සහ ධීවර කර්මාන්තය තුළ ද මෙම සිදුවීම් ඉහළ යමින් තිබෙන බව කම්කරු අමාත්‍යාංශය පවසයි.
කම්කරු අමාත්‍යාංශ ලේකම් මාත්‍යාංශ ලේකම් එස්.එම්. පියතිස්ස මහතා සඳහන් කළේ ධීවර පවුලක දරුවෙකු තම දෙමාපියන්ට උපකාර කිරීම ළමා ශ්‍රමිකයෙකු ලෙස නොසලකන බවයි. ළමා ශ්‍රමිකයෙකු හඳුනා ගැනීම සඳහා අමාත්‍යාංශයට ප්රමිතීන් ඇති බවත් පියතිස්ස මහතා පෙන්වා දුන්නේය.
“දරුවෙකු එවැනි රැකියාවක නිරත වන්නේ නම්, ඒ වෙනුවෙන් දවසේ සැලකිය යුතු කොටසක් ගත නොකළ යුතු අතර, එය ඔවුන්ගේ අධ්‍යයන කටයුතු හෝ ශාරීරික හා මානසික සෞඛ්‍යයට බලනොපෑ යුතුයි” ඔහු පැවසුවේය.
මේ අතර වයස අවුරුදු 18 ට අඩු ළමුන් පාසල් නිල ඇඳුම් ඇඳගෙන නීති විරෝධී ළමා ශ්‍රමික කටයුතුවල නියැලෙන අවස්ථා කම්කරු අමාත්‍යාංශය විසින් හඳුනාගෙන ඇති බව ද කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.
සිසුන් යාචකයින් ලෙස රඟපාන අවස්ථා ද ඇති බව පැවසූ පියතිස්ස මහතා කම්කරු අමාත්‍යාංශය මෙම ගැටලුව සම්බන්ධයෙන් දැඩි නීති පනවා ඇති අතර එය විසඳීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණය කරමින් සිටින බව ද සඳහන් කළේය.
“ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ඇතැම් පවුල්වල දරුවන්ට ආර්ථික කටයුතුවල යෙදීමට බල කෙරී ඇති බව පැහැදිලියි. ළමුන් පාසල් යාම වෙනුවට පාසල් නිල ඇඳුම් ඇඳගෙන විවිධ ආර්ථික කටයුතුවල නිරත වන අවස්ථා අපි හඳුනාගෙන තිබෙනවා. එමඟින් ඔවුන් පාසලෙන් ආපසු පැමිණෙන බවට හැඟීමක් ඇති වෙනවා” ඔහු වැඩි දුරටත් පැවසීය.












