සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කැඳවීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගය මහ ලේකම් රජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ ය.
ජාතික ජනතා බල රජය විසින් හඳුන්වා දුන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අඩුපාඩු විවේචනය කරමින් පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා සිරිවර්ධන මහතා පසුගිය 12 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමත් සමඟ මෙම ගැටලුව නිර්මාණය වූ බව ද සජබ මහ ලේකම්වරයා පැවසුවේය.
ප්‍රසාද් සිරිවර්ධන මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය පාවාදීමක් ලෙස පක්ෂය සලකන බව කී සජබ මහ ලේකම්වරයා, මාළිමාව ආණ්ඩුව විපක්ෂය මර්ධනය කිරීමේ මෙහෙයුමක් දියත් කර ඇති බවටත් චෝදනා කළේය.
“රජයේ ක්‍රියාමාර්ගයට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අපි මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා. ප්‍රකාශයක් සම්බන්ධයෙන් මීට පෙර කිසි දිනෙක මන්ත්‍රීවරයෙකු CID වෙත කැඳවා නැහැ. මේක බරපතළ තත්ත්වයක්. මේ කැඳවීම සුළුවෙන් සලකන්න අපි කිසිසේත් සූදානම් නැහැ” රංජිත් මද්දුම බණ්ඩාර මහතා අවධාරණය කළේය.













