පීඩන අවපාතය දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ළඟා වෙයි – දිස්ත්‍රික්ක රැසකට තද වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්  අද (07) දින ප.ව. 2.00 ට නිකුත්කරන ලද නිල කාලගුණ අනාවැකිය.

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය අද (07) දහවල් 11.30 වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී පොතුවිල් සිට 700 km ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 4.9°N සහ දේශාංශ 87.4°E ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුණි. එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ළඟාවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම පද්ධතිය ඉදිරි පැය 24 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තව දුරටත් වර්ධනය වීමට බොහෝ දුරට හැකියාව පවතින අතර එහි බලපෑම හේතුවෙන් හෙට (08) දින සිට දිවයිනේ, විශේෂයෙන් උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වේ.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි අතරඋතුරු පළාතෙත් අනුරාධපුරය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකිය.

සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි  අතර මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) පමණ තද සුළං ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website