ආර්ථිකයේ මර්මස්ථාන හතරක් බරපතළ අවදානමක : කළ යුත්තේ කුමක් ද ?

සංචිත පහත වැටීම, රුපියල බාල්දුවීම, ණය බර ඉහළයාම   හා ව්‍යසනයේ ආර්ථික හානිය පියවා ගැනීම  නව වසරේ ආර්ථිකය මුහුණ දෙන ප්‍රධාන අභියෝගයයි

විදේශ සංචිත පහත වැටීම, රුපියල බාල්දුවීම, උද්ධමනය, ණය බර ඉහළ යාම හා ව්‍යසනයේ ආර්ථික හානිය පියවා ගැනීමට ඒකාබද්ධ වැඩපිළිවෙළක් අවශ්‍යව ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.  අධික බදු පැනවීම හා විදුලිය හා ගෑස් මිල ඉහළ නැංවීම තුළින් රුපියල් ආදායම් වැඩි කිරීමට (Revenue Augmentation) රජය සමත්වී ඇති නමුත්, රාජ්‍ය මුල්‍ය විනය පවත්වා ගෙන යාවේ දී රජය දුර්වල කාර්ය දර්ශනයක් පෙන්වමින් සිටින්නේ යැයි, එහි විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ණය අර්බුදය තවදුරටත් ඉහළ යාම

අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත් වන විට රුපියල් බිලියන 17,595.05ක් වූ ලංකාවේ දේශීය ණය ප්‍රමාණය, 2025 සැප්තෑම්බර් අවසන් වන විට රුපියල් බිලියන 18,701.46 දක්වා රුපියල් බිලියන 1,106.41කින් වැඩි වී ඇත.  2024 අවසානයේ රුපියල් බිලියන 10,429.04ක් වූ විදේශ ණය ප්‍රමාණය 2025 සැප්තෑම්බර් වන විට රුපියල් බිලියන 10,974.34 දක්වා ඉහළ ගොස් ඇත.  මේ අනුව රටේ සමස්ත දේශීය හා විදේශීය ණය එකතුව  රුපියල් බිලියන 29,675.81 දක්වා ඉහළ ගොස් ඇත.

විදේශ සංචිත පහත වැටීම

විදේශ සංචිත අඛණ්ඩව පහත වැටීම ආර්ථිකය මුහුණ දෙන දැවැන්තම අභියෝගයයි.  2025 මාර්තු මස ඩොලර් මිලියන 6,531ක් වූ විදේශ සංචිත,  නොවැම්බර් මස අවසානයේ දී ඩොලර් මිලියන 6,033  දක්වා ඩොලර් මිලියන 498 කින් පහත වැටුණේය.  ගංවතුර ව්‍යසනය හේතුවෙන් විනාශ වූ යටිතල පහසුකම් හා කර්මාන්ත විධිමත්ව නවීකරණය කිරීමට නම් අති විශාල විදේශ විනිමයක් වැය කර භාණ්ඩ ආනයනයට රජයට අනිවාර්යයෙන්ම සිදුවේ.

2024 දී එවකට රජය ජංගම ගිණුමේ ධන ශේෂයක් පවත්වා ගැනීමට සමත් වූ අතර, 2025 සැප්තෑම්බර්, ඔක්තෝබර් දෙමස තුළ එය නැවත සෘණ ශේෂයක් බවට පත් විය. ජංගම ගිණුමේ ශේෂය සෑම විටම ධන අගයක පවත්වා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති නමුත්, 2025 නොවැම්බර් නැවත ශේෂය ධන අගයකට පැමිණීම ආර්ථිකයේ දිශානතිය පිළිබඳ ධනාත්මක ඉඟියකි.

රුපියල බාල්දුවීම

පසුගිය වසරේ රුපියල් 293.25ක් වූ ඩොලරයේ හුවමාරු අගය, මේ වන විට රුපියල් 309.45 දක්වා ඉහළ ගොස් ඇත. රුපියල අවප්‍රමාණය වීම විදේශීය ණය සහ පොලිය ගෙවීමේ දී දැරීමට සිදු වන පිරිවැය ඉහළ යාම, ආනයනික හා නිෂ්පාදන භාණ්ඩවල ඉහළයා මට සෘජුවම බලපානු ලබයි.

ඩොලරයට සාපේක්ෂව රුපියල අඛණ්ඩව බාල්දුවීම හේතුවෙන් වානිජ්‍ය බැංකු සහ උණ්ඩියල් (කළු කඩ)  අතර විනිමය අනුපාතයේ අගය ක්‍රමිකව පුළුල් වෙමින් ඇත. එම තත්වයට හේතුව අවිනිශ්චිතතාවයයි. 2021-2021 ආර්ථික අර්බුදයේ ආරම්භය ප්‍රකාශයට පත් වූයේ ද, බැංකු සහ කළු කඩය අතර ඩොලර් හුවමාරු අනුපාතය ඉහළ යාමයි.

ව්‍යසනය හා ප්‍රතිසංස්කරණ

තවමත් ලංකා රජය ගංවතුර හා නායයෑම් ව්‍යසනය හේතුවෙන් රටට සිදු වූ හානිය සහ නැවත එක්සත් ජාතීන්ගේ ඉදිකිරීම් සඳහා වන ඇස්තමේන්තුවක් සකස් කර නැත. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මුලින්ම මේ ගැන ඇස්තමේන්තු රහිත වාර්තාවක් ඉදිරිපත් විය. ව්‍යසනයේ රටේ ආර්ථිකයට වන හානිය ලෝක බැංකුවට අනුව ඇ.ඩො. බිලියන 4කි.  ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සංවිධානයට අනුව,  ඩො.බිලිය 16ක් හෙවත් දළ දේශීය නිෂ්පාදනයෙන් 16%කි.

සහනාධාර ලබා දීම සඳහා අති විශාල බදු මුදලක් ද, නැවත ඉදිකිරීම් සඳහා භාණ්ඩ ආනයනයට ඉතා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ද, අවශ්‍ය වේ. රජය වහා ආපදාවේ මූල්‍ය හානිය හා නැවත ඉදිකිරීම් සඳහා වන ඇස්තමේන්තු සකස් කර ගත යුතුව ඇත. ජීවිත නැවත ගොඩනගා ගැනීම සඳහා ප්‍රමාණවත් සහන නොලැබීම, අවතැන්වූවන්ට  දැනටමත් ප්‍රශ්නයක් බවට පත්වෙමින්  ඇත.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website