විදුලි ගාස්තු සංශෝධනයට ලංවිම කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිෂම ප්‍රතිචාර දක්වයි

ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයක් ඉල්ලා සිටිය ද, එම ක්‍රියාවලිය කඩිනමින් කළ නොහැකි බවත්, උපරිම කාර්යක්ෂමතාවයෙන් සිදු කළත් අවම වශයෙන් සති කිහිපයක් ගතවනු ඇති බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් පැවසුවේය.

ඔහු පැවසුවේ ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය 24 වැනිදා සිය ගාස්තු සංශෝධන යෝජනාව ඉදිරිපත් කළ බවයි.

“ජනවාරි පළමු වැනි දින සිය විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා ඕනෑම යෝජනාවක් 2025 නොවැම්බර් 14 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙස 2025 ඔක්තෝබර් 22 වන දින මහජන උපයෝගීතා කොමිෂම ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දුන්නා. අපි එසේ කළේ අදාළ දත්ත අධ්‍යයනය කර අවශ්‍ය ක්‍රියා පටිපාටි සම්පූර්ණ කිරීමට නියාමන නිලධාරීන්ට ප්‍රමාණවත් කාලයක් ලබා දීමටයි. නමුත් ලංකා විදුලි බල මණ්ඩලය මෙම සංශෝධනය ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින නමුත් යෝජනාව අප වෙත එවා ඇත්තේ දෙසැම්බර් 24 වන දිනයි. මෙම ගාස්තු සංශෝධන ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක කිරීමට නම් එය නිසි ලෙස අධ්‍යයනය කිරීමට අවශ්‍යයි. නමුත් ඒවා නිසි ලෙස අධ්‍යයනය කිරීමට පවා ප්‍රමාණවත් කාලයක් මේ තත්ත්වය තුළ නැහැ. විදුලි ගාස්තු සංශෝධන සාමාන්‍යයෙන් අවසන් කිරීමට සති හයේ සිට අට දක්වා කාලයක් ගත වෙනවා. නමුත් අපට මෙවර එතරම් කාලයක් නැහැ. නීතිය යටතේ අදාළ පාර්ශ්වකරුවන්ගෙන් ලිඛිත ඉදිරිපත් කිරීම් සඳහා අවම වශයෙන් දින 21ක්වත් ලබා දීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාවට අවශ්‍යයි. මෙම කාලය සඳහා පමණක් සති තුනක් පමණ ගත වන අතර, සියලු ක්‍රියාවලීන් ඉහළම කාර්යක්ෂමතාවයෙන් හසුරුවා තිබුණත් සමාලෝචනය සම්පූර්ණ කිරීමට අවම වශයෙන් සති හතරක් අවශ්‍යයි.” ජයනාත් හේරත් වැඩි දුරටත් පැවසුවේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website