
අපි මාධ්‍ය මර්දනයට විරුද්ධව කටයුතු කළා. මම හිතන ආකාරයට ජනමාධ්‍යවලට රජය බලපෑම් නොකළ යුතුයි. තොරතුරු පනත නිසා මේ සමාජයේ මොන තරම් වෙනසක් සිදු වුණා ද ?, දූෂණ කොපමණ අඩු වුණා ද ?. අපි ඒ ගැන කල්පනා කළ යුතුයි. මාධ්‍ය වැරදි කරනවා නම් ඒවා පෙන්වා දීමෙන් නිවැරදි කළ හැකියි. සාධාරණ සමාජය කිසිම ආකාරයක මාධ්‍ය මර්දනයකට සහාය දක්වන්නේ නැහැ. මාධ්‍ය නිදහස ප්රජාතන්ත්රවාදී රටක ජනතාව සතු මූලික අයිතියක්.
රටක් ලෙස ගත් අපි ඉතාම දරුණු ස්වභාවික ව්‍යසනයකට මුහුණ දුන්නා. මේ හරහා සිදු වුණ විනාශය අපට පහසුවෙන් හානිපූරණය කර ගැනීම අසීරු බවට සැකයක් නැහැ. රටෙත් ජනතාවගෙත් යහපත දිහා බලලා මේ තත්ත්වයෙන් ගොඩ ඒමට, නැතිනම් රට යළි ස්ථාවර කිරීමට අපි අනුගමනය කළ යුතු පියවර මොනවාද ?
ඇත්තටම දිට්වා සුළි කුණාටුව හරහා ඇති වූ විනාශය සම්බන්ධයෙන් අපි දැඩි ලෙස කනගාටු වෙනවා. මම හිතන විදිහට විහාර මහ දේවිය මුහුදට බිලි දීමට සිදු වුණ සිදුවීමට පසුව අපේ ඉතිහාසය තුළ සිදු වුණ දරුණුම ස්වභාවික ව්‍යසනය තමයි මේක. 2004 සුනාමි ව්‍යසනයෙන් 40,000කට අධික පිරිසක් මිය ගියත් රටෙන් වැඩි ප්‍රමාණයක් විනාශයට පත් වුණේ නැහැ. නමුත් මෙවර දිස්ත්‍රික්ක තුනක් හැර මුළු රටම පීඩාවට පත් වුණා. මේ අවස්ථාවේ දී මට සිහිපත් වෙනවා අපි රට පාලනය කළ කාලයේ, ඒ කියන්නේ 2003 දීත් මේ ආකාරයෙන්ම දැවැන්ත ගංවතුරක් ඇති වුණා. එදා ගාල්ල, මාතර, හම්බන්තොට, කලුතර සහ රත්නපුරයේ විශාල විනාශයක් සිදු වුණා. එදා ජීවිත 200ක් නැති වෙලා නිවාස 48,000ක් පමණ අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් විනාශ වුණා. ඒ වගේම රාජ්‍ය සහ පෞද්ගලික දේපොළ විශාල ප්‍රමාණයක් විනාශ වුණා. මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට රජය පත්කළ කමිටුවේ සභාපතිවරයා ලෙස මාව පත් කළා. අපි මෙහි දී ඉතාම දක්ෂ කණ්ඩායමක් තෝරා ගෙන දින 180ක් වැනි කාලයක් තුළ විපතට පත් ජනතාවගේ ජීවිත යළි ස්ථාවර කිරීමට සමත් වුණා. මෙහිදී තවත් වැදගත් කරුණක් සිහිපත් කළ යුතුයි, එදා අපට විශාල වශයෙන් විදේශ ආධාර ලැබුණා. ඉන්දියාව, ජපානය, යුරෝපා සංගමය ඇතුළු ලෝකයේ බොහෝ රටවල් අපට නොසෑහෙන්න උපකාර කළා.
ආපදා කළමනාකරණ පනත කෙටුම්පත් කිරීම ආරම්භ වුණෙත් මේ කාලයේ දී නේද ?
ඔව්, මේ ගංවතුර තත්ත්වය සමඟ ආපදා කළමනාකරණයට වඩාත් කාර්යක්ෂම සහ විධිමත් යාන්ත්‍රණයක අවශ්‍යතාව මතු වුණා. ඒ අනුව තමයි අද බොහෝ දෙනකුගේ දැඩි ඇගයීමට හා ප්‍රසාදයට ලක්ව ඇති ජාතික ආපදා කළමනාකරණ පනත කෙටුම්පත් කිරීම ආරම්භ කළේ. මේ පනත කෙටුම්පත් කරමින් තිබිය දී 2004 දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සමඟ අපට බලයෙන් ඉවත් විමට සිදු වුණ නිසා පනත ගැසට් කිරීමට හැකි වුණේ නැහැ. නමුත් ඊට පසුව බලයට පත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2005 දී 2005 අංක 13 දරණ ආපදා කළමනාකරණ පනත සම්මත කළා. මේ පනත කෙටුම්පත් කිරීමේ දී චම්පික රණවක ඇමැතිතුමා විශාල සහායක් ලබා දුන්නා.

මේ සම්බන්ධයෙන් යාන්ත්‍රණයකුත් සකස් කළා නේද ?
ඔව්, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ අපි ආපදා කළමනාකරණයට අදාළව ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා ඉතාම ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කළා. ගංවතුර අවදානම පවතින ප්‍රාදේශීය ලේකම් කාර්යාවලට බෝට්ටු පවා ලබා දුන්නා. නමුත් කාලයත් සමඟ මේ යාන්ත්‍රණය දුර්වල වෙලා ගිය බව පසුගිය දිට්ටා සුළි කුණාටු සමයේ පැහැදිලිව පෙනුණා. මේක රටක් ලෙස කනගාටු විය යුතු තත්ත්වයක්. ඒ වගේම තමයි දේශගුණ විපර්යාස වල බලපෑම දිගින් දිගටම තීව්රර වෙමින් තිබෙනවා. ඒ නිසා මීට වඩා බිහිසුණු ස්වභාවික ආපදා තත්ත්වයන්ට ඉදිරියේ මුහුණ දීමට අපට සිදුවෙයි. ඒ නිසා අපේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය මීට වඩා ශක්තිමත් හා කාර්යක්ෂ එකක් විය යුතුයි. ජපානයේ වාගේ ඕනෑම අවස්ථාවක ඇතිවිය හැකි ස්වභාවික ආපදාවකට මුහුණ දීමට අපි හුරුවිය යුතුයි, ඊට අදාළ කාර්යක්ෂ යාන්ත්‍රණ සකස් කළ යුතුයි.
ඔබ සිතන ආකාරයට මේ ආකාරයෙන් ස්වභාවික ව්‍යසන වඩාත් බිහිසුණු හා තීව්රර වෙන්නේ ඇයි ?
මම මුලින් සඳහන් කළ ආකාරයට මේ ආකාරයේ ස්වභාවික ව්‍යසන සිදුවීමට සහ එහි විනාශකාරී බව ඉහළ යාමට දේශගුණ විපර්යාස ඍජුව දායක වී තිබෙනවා. මේවට වගකිව යුත්තේ බටහිර රටවල් වුණත් ඔවුන් ඒ ගැන කිසිම අවධානයක් යොමු කරන්නේ නැහැ. අනෙක් අතින් අපි අපේ පරිසරය, වනාන්තර, ජල පෝෂක ආදි ස්වභාවික පරිසරයේ සමතුලිතතාවය විනාශ කිරීමත් ප්‍රධාන හේතුවක්. අපේ වන ආවරණය ඉතා වේගයෙන් පහළ යමින් තිබෙනවා. ගංඟා නිම්න, කඳු බෑවුම් ආදි අනතුරුදායක ස්ථාන ජනාවාසකරණය වෙමින් තිබෙනවා. මේවා පාලනයට දැඩි නීති සම්පාදනය කළ යුතුයි. ඒ වගේම පරිසර සංරක්ෂණය ආදිය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කරමින් කුඩා කාලයේ සිටම පරිසරය ආරක්ෂා කර ගැනීමට ජනතාව හුරුකරවිය යුතුයි.
මෙවැනි ආපදා තත්ත්වයකට මුහුණ දීමට අවශ්‍ය විශේෂඥ දැනුම අප සතුව තිබෙනවා ද ?
ඔව්, පරිසරය සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගය දිනා ගත් මහාචාර්ය මොහාන් මුණසිංහ වැනි ජාත්‍යන්තර මට්ටමේ විශේෂඥයෝ අපේ රට තුළ ඉන්නවා. ඒ වගේම පරිසරය සම්බන්ධ ජාත්‍යන්තර සංවිධානවලට නායකත්වය දෙන ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් ඉන්නවා. නමුත් ඊට පෙර අදාළ පුද්ගලයින් තෝරා ගැනීමේ දී දේශපාලන පක්ෂපාතීත්වය නොව දැනුම හා හැකියාව අනුව අදාළ පුද්ගලයින් තෝරා ගැනීමට අවධානය යොමු කළ යුතුයි. මෙහිදී තවත් වැදගත් කරුණක් පෙන්වා දිය යුතුයි. ආර්ථික සංවර්ධනය මෙන්ම පරිසරය ද ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත්.
අපදා කළමනාකරණය විෂයට වත්මන් ආණ්ඩුව ඇමැතිවරයෙක් පත්කරලා නැති බවට බරපතළ චෝදනාවක් තිබෙනවා. ඔබට ඒ ගැන යම් අදහසක් තිබෙනවා ද ?
ඔව්, ආපදා කළමනාකරණය කියන්නේ වගකිව යුතු පුළුල් විෂයක්. මේ වන විට ආපදා කළමනාකරණයට ආදාළ සියලුම ආයතන ජනාධිපතිවරයා යටතේ තිබෙන්නේ. මම පුද්ගලිකව විශ්වාස කරනවා ආපදා කළමනාකරණයට කැබිනට් අමාත්‍යවරයෙක් සිටිය යුතුයි කියලා. මීට පෙර ආණ්ඩුවල ආපදා කළමනාකරණ විෂයභාරව කැබිනට් අමාත්‍යවරයෙක් හිටියා.
දිට්වා සුළි කුණාටුවෙන් සිදු වුණ භෞතික හානිය පමණක් එක්සත් ජනපද ඩොලර් බිලියන 4.1ක් කියලා ලෝක බැංකුව කියනවා. මේක රටක් ලෙස අපට තනිව දරා ගැනීමට අපහසු මුදලක්. 2027 දී අපි විදේශ ණය ගෙවීම යළි ආරම්භ කළ යුතුයි. මෙවැනි තත්ත්වයක් තුළ අපි මේ හානිය ප්‍රතිපූර්ණය කර ගන්නේ කොහොමද ?
ඔව්, ඩොලර් බිලියන 4.1ක් කියන්නේ ඍජු ආර්ථික හානිය පමණක් වුණත් මේ හරහා මීට වඩා විශාල ආර්ථික හානියක් සහ අලාභයක් සිදුව ඇති බව පැහැදිලියි. මේ හානිය අපට රටක් ලෙස තනිව දරා ගන්න අසිරුයි. මට මතකයි 2003 දී සහ සුනාමි ව්‍යසනයේ දී අපට විශාල වශයෙන් විදේශ ආධාර ලැබුණා. සහන ලැබුණා. නමුත් මේ අවස්ථාවේ දී එවැනි ආධාර ප්‍රමාණයක් හෝ සහන ලැබෙන බවක් දැක ගන්න නැහැ. මේකට හේතු ගණනාවක් තිබෙනවා. ඒ අතර යුරෝපය මේ වන විට බරපතළ ආර්ථික ගැටලුවලින් පීඩාවට පත්ව සිටිනවා, රුසියානු – යුක්ක්‍රේන යුද්ධය, ගාසා යුද්ධය ආදිය නිසා ජාත්‍යන්තර සංවිධාන පීඩාවට පත්ව සිටින්නේ. අපේ කලාපයේ තත්ත්වය වුණත් යහපත් නැහැ. ඒ නිසා මේ අවස්ථාවේ හැකි තරම් ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට පියවර ගත යුතු බව අපි ජනාධිපතිතුමාට යෝජනා කරලා තිබෙනවා.

මෙහි දී රටක් ලෙස අපට, විශේෂයෙන් ජනතාවට යමක් කළ හැකියි නේද ?
ඔව්, දෙවැනි ලෝක යුද්ධයෙන් විනාශයට පත් ජර්මනිය, ජපානය යළි ගොඩනැගුණ ආකාරය අපට හොඳ උදාහරණයක්. ඒ වගේම කොරියන් යුද්ධයෙන් විනාශ වුණ දකුණු කොරියාව යළි ගොඩනැගීමට ඒ ජනතාව විශාල කැප කිරීමක් කළා, ඔවුන් රට ගැන හැඟීමකින් කටයුතු කළා. කොරියානු කාන්තාවෝ තමන් සතු රත්තරං පවා රට යළි ගොඩනැගීමට ආණ්ඩුවට පරිත්‍යාග කළා. ඒ නිසා අපිත් මේක ජාතික ආපදාවක් ලෙස සැලකිය යුතුයි. දේශපාලන දෘෂ්ටිකෝණයෙන් මේ දෙස නො බැලිය යුතුයි. එක්සත්ව, එක්සිත්ව කටයුතු නො කළහොත් අපිට මේ අර්බුදයෙන් ගොඩ ඒමට අසීරුයි.
දේශගුණ විපර්යාස හේතුවෙන් ඇති වන හෝ තීව්රර වන ස්වභාවික ආපදා වෙනුවෙන් වන්දි ලබා දෙන හෝ ආධාර කරන ජාත්‍යන්තර සංවිධාන සහ අරමුදල් තිබෙනවා නේද ?
ඔව්, එවැනි අරමුදල් ගණනාවක් තිබෙනවා. නමුත් අපි තාම ඒවාට කතා කරලා නැහැ. මම මුලින් කිව්වා වාගේ මහාචාර්ය මොහාන් මුණසිංහ වැනි ජාත්‍යන්තර අත්දැකීම් හා සම්බන්ධතා තිබෙන විශේෂඥයෝ අපට වැදගත් වන්නේ මේ නිසයි. ඔවුන් දන්නවා මේ ආධාර සංවිධාන තිබෙන්නේ කොහෙද කියලා, ඒවා ලබා ගන්නේ කොහොමද කියලා. යම්කිසි ආකාරයකින් මේ සංවිධානයක සහායෙන් ඩොලර් බිලියනයක් දෙකක් ලබා ගන්න පුළුවන් වුණොත් ඒක අපට විශාල ශක්තියක්.
වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය මේ සම්බන්ධයෙන් අදාළ වෙන්නේ කොහොමද ?
ඒක ඉතාම වැදගත්. මේ වන විට රට තුළ නාස්තිය, දූෂණය අඩු වෙලා තිබෙනවා, ඒක ජාත්‍යන්තරයට ඉතාම හොඳ සංඥාවක්. ඒත් අපේ පරිපාලන ව්‍යුහයේ සැලකිය යුතු වෙනස්කම් සිදුවිය යුතුයි. බොහෝ රාජ්‍ය නිලධාරීන් දැඩි කැපවීමෙන් කටයුතු කළත් තවත් පිරිසක් නීතිය අකුරටම පිළිපැදීම නිසා, බය නිසා සමහර විට තීරණ ගැනීමේ ප්‍රමාදයන් තිබෙනවා. ඒක කනගාටුවට කරුණක්. මෙවැනි දැවැන්ත ආපදා තත්ත්වයක් තුළ පොතේ හැටියටම කටයුතු කිරීම අසීරුයි. මේක මනුස්ස ජීවිතත් එක්ක කරන ගනුදෙනුවක්. මේ සේරටම වඩා අපේ ජනතාව තුළ හැඟීමක් ඇති විය යුතුයි, මේක ජාතික ව්‍යසනයක්, අපට මේක එක්ක සෙල්ලම් කරන්න බැහැ, දේශපාලන භේද, ජාති හා ආගම් භේද අමතක කරලා අපි සියලු දෙනා එකාවන්ව මේ අර්බුදයෙන් ගොඩ ඒමට පියවර ගත යුතුයි. විශේෂයෙන් පක්ෂ – විපක්ෂ මහජන නියෝජිතයෝ මේ යථාර්ථය තේරුම් ගත යුතුයි.
මේ අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය මුදල් සොයා ගැනීම අසීරුයි නේද ?
ඔව්, මම මුලින් සඳහන් කළ ආකාරයට අන්තර්ජාතික ප්‍රජාවේ සහාය ඉතාම වැදගත්. ඔවුන් සමඟ සාකච්ඡා කිරීම, අදාළ සැලසුම් ඉදිරිපත් කිරීම ආදිය කඩිනමින් හා දැඩි වෘත්තීයභාවයකින් කළ යුතුයි. නමුත් මේ වන විට ආණ්ඩුව සතුව හානිය සම්බන්ධ නිවැරදි ඇස්තමේන්තුවක් පවා නැහැ.

ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව බලාත්මක කිරීම වැනි කාරණාවලදී අපි යම් ප්‍රගතියක් ලබා තිබෙනවා. ඔබ විශ්වාස කරන ආකාරයට අපි තව දුරටත් අවධානය යොමු කළ යුතු කාරණා මොනවාද ?
මම නිදහසට පෙර උපත ලැබූ පුද්ගලයෙක්. ඒ නිසා ගෙවී ගිය කාලයේ සියලුම දේශපාලන ප්රවණතා සහ අර්බුද මම දැක්කා. ඒ කාලයෙත් මැතිවරණවලදී යම් යම් අයථා ක්‍රියා සිදු වුණා. කොඩි කපනවා, ඡන්ද ගණන් කරන අයව පැහැර ගෙන යනවා, පක්ෂ කාර්යාලවලට ගිනි තියනවා, මේ වගේ දේවල් සිදු වුණා. රාජ්‍ය නායකත්වයේ හැසිරීම අනුව යම් යම් අයථා කටයුතු සිදු වුණා. නමුත් අපි දැක්ක කාලය තුළ ඉතාම අසාධාරණ මැතිවරණය තමයි 1997 වයඹ පළාත් සභා මැතිවරණය. ඒක තමයි ලංකාවේ තිබුණ දූෂිතම මැතිවරණය, ප්රචණ්ඩම මැතිවරණය. මම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස මේ මැතිවරණය මෙහෙයවපු නිසා මේ ප්රචණ්ඩත්වය ඇස් දෙකෙන් ම දැක්කා. මේ බිහිසුණු ප්රචණ්ඩත්වය දැක්කට පස්සේ සමාජය තුළින් විශාල ඉල්ලීමක් ආවා මේ ක්‍රමය වෙනස් කරලා, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය පසුබිම සකස් කරන්න කියලා. එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ වෙනුවෙන් සහාය දුන්නා. ඒ අනුව තමයි සිවිල් සමාජ නායකයින් කිහිප දෙනකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළේ. ඒ කමිටුව හරහා 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යෝජනා කළා, ඒ තුළ ස්වාධීන මැතිවරණ කොමිෂම ඇතුළු කොමිෂන් සභා යෝජනා කළා. එවකට මම කොළඹ නගරාධිපතිවරයා ලෙස මේ කටයුතුවලට සහභාගී වුණා. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් විමල් වීරවංශ මහතා විශාල සහායක් මේ වැඩපිළිවෙළට ලබා දුන්නා. සිවිල් සමාජ නායකයින්, විශේෂයෙන් එල්මෝ පෙරේරා ඇතුළු පිරිසක් මේ වෙනුවෙන් විශාල සහායක් ලබා දුන්නා.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියන ස්ථාවරයේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය හැමදාම හිටියා. මේ වන විට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ සාකච්ඡාව නැවත කරළියට පැමිණ තිබෙනවා. ඔබතුමා මේ තත්ත්වය දකින්නේ කොහොමද ?
මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ආරම්භ කළේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට බලපෑම් කිරීමේ පරමාර්ථයෙන්. උන් වහන්සේ දැන ගත්තා අපි රටක් ලෙස මුහුණ දෙන සියලුම ප්‍රශ්නවලට මුල මේ එක පුද්ගලයෙක් වටා අසීමිත ලෙස බලය ගොනුවීම කියලා. මේ අසීමිත බලතල අදාළ පුද්ගලයා පමණක් නොවෙයි ඔහුගේ පවුල, ඥාති මිත්‍රාදීන්, සමීපතමයින් ද අභ්‍යාස කරනවා. කොටින්ම ඔහුගේ කෝකියා පවා මේ බලතල අපයෝජනය කරනවා. ඒ තරමට මේ බලය පිරිහීමට ලක්ව තිබෙනවා. ලංකාව වැනි රටකට මෙවැනි අසීමිත බලතල සහිත පාලකයින් ගැළපෙන්නේ නැහැ. අපට ගැළපෙන්නේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය පමණයි. ඒක ඉන්දියාවට, මහා බ්‍රිතාන්‍යයට කරන්න පුළුවන් නම් ඇයි අපට බැරි. අපට ඒක කරන්න පුළුවන්. අපි මේ ව්‍යාපාරයට ආරම්භ කළේ පුද්ගලයෙකුට විරුද්ධව නෙමෙයි, ක්‍රමයට විරුද්ධව. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියන මතයේ අපි අදත් දැඩිව ඉන්නවා. අපි විශ්වාස කරනවා මේ ආණ්ඩුව විසින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරයි කියලා. ඒකට හේතුව තමයි ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඒ වෙනුවෙන් පොරොන්දුවක් දීලා තිබෙනවා. යළිත් මේ රටේ විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගන්නා මැතිවරණයක් නොපැවැත්වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි විශ්වාස කරනවා ඉදිරි ජනාධිපතිවරණයට අවුරුද්දකට කලින් හෝ ජනාධිපතිතුමා දුන්න පොරොන්දුව ඉෂ්ඨ කරයි කියලා.
මේ වන විට ජනමාධ්‍ය මර්දනය හෝ ජනමාධ්‍ය වගකීමෙන් කටයුතු කළ යුතු බවට සංවාදයක් තිබෙනවා. මේ ගැන ඔබතුමාගේ අදහස කුමක් ද ?
අපි මාධ්‍ය මර්දනයට විරුද්ධව කටයුතු කළා. මම හිතන ආකාරයට ජනමාධ්‍යවලට රජය බලපෑම් නොකළ යුතුයි. තොරතුරු පනත නිසා මේ සමාජයේ මොන තරම් වෙනසක් සිදු වුණා ද ?, දූෂණ කොපමණ අඩු වුණා ද ?. අපි ඒ ගැන කල්පනා කළ යුතුයි. මාධ්‍ය වැරදි කරනවා නම් ඒවා පෙන්වා දීමෙන් නිවැරදි කළ හැකියි. සාධාරණ සමාජය කිසිම ආකාරයක මාධ්‍ය මර්දනයකට සහාය දක්වන්නේ නැහැ. මාධ්‍ය නිදහස ප්රජාතන්ත්රවාදී රටක ජනතාව සතු මූලික අයිතියක්.
සටහන – භාතිය බරුකන්ද
රතුඉර පුවත්පතේ 2026 ජනවාරි 04 කලාපයේ පළ වූ ලිපියකි.













