පන්දුවට පහරදීමේ දී සහ පන්දු යැවීමේ දී මේ වන විට සුපිරි දක්ෂතා පෙන්වමින් සිටින ශ්‍රී ලංකා යෞවන ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වන විමෝක්ෂා බාලසූරිය සහ අසේනි තලගුණේ දක්ෂතා හේතුවෙන් කොළඹ එන්.සී.සී. පිටියේ අද (07) පැවැති තරගයෙන් මලයාසියානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ ක්‍රීඩිකාවෝ සමත්වූහ. ඒ අනුව දෙරට අතර තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 4-0 ක් ලෙස ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ පෙරමුණ ගෙන සිටිති.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීම සදහා ශ්‍රී ලංකා නායිකාව මැලේසියානු පිලට ආරාධනා කර සිටියේය. ඒ අනුව පන්දුවට පහර දුන් සංචාරක කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු හතකට ලකුණු 85ක් රැස් කිරීමට සමත්විය. ශ්‍රී ලංකා 19න් පහළ පිතිකාරිණියන් පන්දුවාර 13.4ක දී කඩුල්ලක් පමණක් දැවී ලකුණු 89ක් රැස් කර මේ පහසු ජයග්‍රහණය අත්කර ගත්තේ තවත් පන්දු 38ක් (පන්දුවාර 6.2ක්) ඉතිරිව තිබිය දී ය.
ශ්‍රී ලංකා යෞවනියන් ලකුණු 86ක ජයග්‍රහණයක් හඹායද්දී ආරම්භක පිතිකාරිණිය විමෝක්ෂා බාලසූරිය නොදැවී ලකුණු 53ක් රැස් කළේ පන්දු 50ක දී හතරේ පහර හතක්ද සමගය. ඇය දෙවන කඩුල්ලට නායිකාව මනුදි නානායක්කාර සමග පන්දු 58ක දී නොදැවී ලකුණු 59ක සබඳතාවයක් රැස් කළේ පහසු ආකාරයකිනි.
මනුදි නානායක්කාර නොදැවී ලකුණු 16ක් සහ ආරම්භක අංක එක පිතිකාරිණිය සංජානා කාවින්දි ලකුණු 15ක් රැස් කළහ. මේ තරගාවලිය පුරා ලකුණු අතර සිටින විමෝක්ෂා බාලසූරිය අද රැස් කළේ සිය තුන්වන අර්ධ ශතකයයි.
විමෝක්ෂා ප්‍රථම විස්සයි 20 තරගයේ දී නොදැවී ලකුණු 53ක් ද දෙවැනි විස්සයි 20 තරගයේ දී ලකුණු 20ක් ද තෙවැනි විස්සයි 20 තරගයේ දී ලකුණු 62ක් ද සිව් වැනි විස්සයි 20 තරගයේ දී නොදැවී ලකුණු 53ක් ද ලැබීය.
පන්දු යැවීමේ දී කැපී පෙනුණු අසේනි තලගුණේ ප්‍රථම තරගයේ දී ලකුණු 15කට කඩුල්ලක් ද දෙවැනි තරගයේ දී ලකුණු 14කට කඩුලු 2ක් ද තෙවැනි තරගයේ දී ලකුණු 10කට කඩුලු පහක් ද සිව් වැනි තරගයේ දී ලකුණු 14කට කඩුලු 4ක් ද දවා සිටී.
මලයාසියානු කණ්ඩායම වෙනුවෙන් මෙදින පිතිකාරිණියන් අතුරින් කැපී පෙනුණේ ද අංක පහ පිතිකාරිණිය නුර් ඩානියා පමණකි. ඇය පන්දු 34 කදී ලකුණු 22 ක් රැස් කළාය. මේ කණ්ඩායම් දෙක අතර අවසාන සහ පස්වන විස්සයි 20 තරගය සඳුදා (10) පැවැත්වීමට නියමිතය.
ලකුණු පුවරුව
මලයාසියා ජාතික කාන්තා කණ්ඩායම පන්දුවාර 20ක දී කඩුලු 9කට ලකුණු 85 යි – (නුර් ඩානියා 22, මාර්ක් එලීසා 13, මරියා ඉස්මයිල් 11, අසේනි තලගුණේ 14/4, චමෝදි ප්‍රමෝද්‍යා 18/2, ශෂිනි ගිම්හානි 19/2)
ශ්‍රී ලංකා 19න් පහළ බාලිකා කණ්ඩායම පන්දුවාර 13.4ක දී කඩුල්ලක් දැවී 89යි – (විමෝක්ෂා බාලසූරිය නොදැවී 53, මනුදි නානායක්කාර නොදැවී 16, සංජානා කාවින්දි 15, නුර් ඩානියා සමාඩ් 25/1යි)
source:srilankacricket.lk













