2025 දී කාන්තාවන් සහ ගැහැණු ළමයින් 47,000ක් පමණ (නැතහොත් සෑම පැයකටම පස් දෙනෙකු) සමීප සහකරුවන් හෝ පවුලේ සාමාජිකයන් විසින් ඝාතනය කර ඇති බව ඊයේ (24) නිකුත් කරන ලද එක්සත් ජාතීන්ගේ වාර්තාවක දැක්වේ.
මෙම අගය පසුගිය වසරේ හිතාමතා මිනීමැරුම්වලට ගොදුරු වූ කාන්තාවන් සහ ගැහැණු ළමයින්ගෙන් 60%ක් පමණ වන බව අද (25) දිනට යෙදෙන කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව එක්සත් ජාතීන් විසින් නිකුත් කළ වාර්තාවේ සඳහන් විය.
රටවල් සහ ප්‍රදේශ 122ක සංඛ්‍යාලේඛන මත පදනම්ව මුළු මරණ සංඛ්‍යාව ගණනය කරන ලදී. ඒ අනුව, දිනකට සාමාන්‍යයෙන් කාන්තාවන් සහ ගැහැණු ළමයින් 129 දෙනෙකු ඔවුන්ගේ සමීප සමාජ කවය විසින් මරා දමනු ලැබේ.
වැඩිම ස්ත්‍රී ඝාතන සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ අප්‍රිකාවෙන් වන අතර එය 22,100කි. ආසියාවෙන් පසුව 15,100 ක් වින්දිතයින් සිටින අතර, ඇමරිකාවෙන් 7,400 ක්, යුරෝපයෙන් 2,100 ක් සහ ඕෂනියාවෙන් 300ක් වාර්තා වී ඇත.
ස්ත්‍රී ඝාතනය යනු “කාන්තාවන් හෝ ගැහැණු ළමයින් කාන්තාවන් වීම නිසා හිතාමතාම ඝාතනය කිරීම” ලෙස පුළුල් ලෙස අර්ථ දක්වා ඇති වෛරී අපරාධයකි.
කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ශාරීරික හෝ ලිංගික හිංසනයට මුහුණ දී ඇති බව පවසන වාර්තාව ගෝලීය මිනීමැරුම් අනුපාත පහත වැටී ඇති බව ද කියයි. විශේෂයෙන් ඇමරිකාවේ සහ යුරෝපයේ කාන්තා ඝාතන අනුපාත මන්දගාමී වේගයකින් පහත වැටී ඇති බව වාර්තාවෙන් සොයා ගෙන ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, අධිකරණ පද්ධතියට ප්‍රවේශ වීමේදී කාන්තාවන් බොහෝ විට මුහුණ දෙන බාධක මෙයින් පෙන්නුම් කරන අතර “මෙම අපරාධ සමාජ සම්මතයන් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ඒකාකෘති තුළ ගැඹුරින් මුල් බැස ඇති” බව ද පෙන්වා දෙයි.
ලොව පුරා කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු පමණ ශාරීරික හෝ ලිංගික හිංසනයට මුහුණ දී ඇතත්, ඒ පිළිබඳව පොලිසියට වාර්තා කර ඇත්තේ 7% ක් පමණක් බව එක්සත් ජාතීන්ගේ වෙනම වාර්තාවකින් හෙළි වී තිබේ.ෙ
එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ කාර්යාලය (UNODC) විසින් කරන ලද ඇස්තමේන්තු වලට අනුව, පසුගිය වසර කිහිපය තුළ පවුලේ සාමාජිකයෙකු හෝ සමීප සහකරුවෙකු විසින් මරා දමන ලද කාන්තාවන් සහ ගැහැණු ළමයින් සංඛ්‍යාව 45,000 ත් 51,000 ත් අතර අගයකින් ඉහළ ගොස් තිබේ.
“බිය දනවන ආකල්ප, සමාජ සම්මතයන් සහ ආයතනික ආරක්ෂණ ක්‍රමවේදයන් අසාර්ථක වීම නිසා බිරිඳක්, දියණියක්, මවක් හෝ සහෝදරියක් ඝාතනය කිරීම ‘ඉවසිය හැකි’ පරිසරයක් නිර්මාණය වේ. මෙම යථාර්ථය වෙනස් කිරීම සඳහා සමාජයේ සියලු මට්ටම් හරහා තිරසාර ක්‍රියාමාර්ග අවශ්‍ය වේ.” UNODC අධ්‍යක්ෂිකා මොනිකා ජුමා පැවසුවාය.”
එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා සිමා බහූස් පැවසුවේ, “කිසිම අනතුරු ඇඟවීමේ ලකුණක් නොසලකා හැරීමට, දිවි ගලවා ගත් කිසිවෙකුට ආරක්ෂාව නොමැතිව ඉතිරි නොවන බවට සහ කිසිදු අපරාධකරුවෙකු වගකීමෙන් ගැලවී නොයන බවට සහතික වීමට ලෝකය කඩිනමින් ක්‍රියා කළ යුතු” බවයි.
මූලාශ්‍රය: DW













