ආසියානු ක්රිකට් කවුන්සිලය සංවිධානය කරන ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් ක්රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ සහභාගී වූ තරග තුනම ජයග්රහණය කරමින් අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්රී ලංකා ‘ඒ’ කණ්ඩායම (23 දා) රාත්රියේ සමත් විය.
කටාර්හි දෝ පැවැති මූලික වටයේ අවසන් තරගයේදී බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමින් ශ්රී ලංකා ක්රීඩකයෝ මෙම ජයග්රහණය වාර්තා කළහ. පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට පන්දුවාර 42.5කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 145ක් පමණි.
ශ්රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ බංග්ලාදේශ පිතිකරුවන්ට නිදහසේ ලකුණු රැස් කිරීමට අවස්ථාවක් නොලැබුණු අතර, රවිඳු ප්රනාන්දු ලකුණු 30කට කඩුලු 4ක් දවා ගනිමින් පන්දු යැවීමෙන් කැපී පෙනුණේය. වනුජ සහන් ලකුණු 20කට කඩුලු 3ක් දවාගත් අතර විජයකාන්ත් වියස්කාන්ත් කඩුලු 2ක් බිඳ හෙළීය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා ‘ඒ’ කණ්ඩායම පන්දුවාර 21.5කදී කඩුලු 3ක් පමණක් දැවී ජයග්රාහී ඉලක්කය පසුකර ගියේය.
ශ්රී ලංකා ‘ඒ’ කණ්ඩායම ආරම්භයේදීම කඩුලු දෙකක් අහිමි කරගත්තද, නිශාන් මදුෂ්ක සහ පවන් රත්නායක එක්ව ගොඩනැගූ ලකුණු 81ක සම්බන්ධතාව හේතුවෙන් ජයග්රහණය කරා පහසුවෙන් ළඟා විය. පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 51ක් රැස් කළ මදුෂ්ක ඉනිමේ නැංගුරම බවට පත්වෙද්දී, පවන් රත්නායක පන්දු 36කදී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් වේගවත් ලකුණු 45ක් එක් කළේය. ලසිත් කෲස්පුල්ලේ පන්දු 27කදී ලකුණු 29ක් ලබා ගනිමින් ආරම්භක පිතිකරණයේදී දායකත්වය ලබා දුන්නේය. අවසානයේ නිපුන් ධනංජය මුහුණ දුන් පළමු පන්දුවම හතරේ සීමාවට යොමු කරමින් ශ්රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ජයග්රහණය තහවුරු කළේය.
තරගයේ වීරයා ලෙස ලකුණු 30කට කඩුලු 4ක් දවාගත් රවිඳු ප්රනාන්දු නම් කෙරිණි.
මෙම ජයග්රහණයත් සමඟ ශ්රී ලංකා ‘ඒ’ කණ්ඩායම මූලික වටයේ සහභාගී වූ තරග තුනම ජයගනිමින් සිය කාණ්ඩයේ අපරාජිත කණ්ඩායම ලෙස අවසන් පූර්ව වටයට පිවිසියේය.
තරගාවලියේ අවසන් පූර්ව තරග නොවැම්බර් 26 සහ 27 යන දෙදින පැවැත්වීමට නියමිතය. ශ්රී ලංකා ‘ඒ’ කණ්ඩායමට අවසන් පූර්ව වටයේදී හමුවන ප්රතිවාදියා මෙතෙක් තීරණය වී නොමැති අතර, එය හෙට (24) පැවැත්වීමට නියමිත ඉන්දීය ‘ඒ’ සහ එක්සත් අරාබි එමීර් රාජ්ය ‘ඒ’ කණ්ඩායම් අතර තරගයේ ප්රතිඵලය අනුව තීරණය වනු ඇත.
බංග්ලාදේශ ‘ඒ’ – 145 (පන්දුවාර 42.5) – සයිෆ් හසන් 28, පර්වේස් හොසේන් ඉමොන් 32, ඉෆ්ටකාර් හොසේන් 31, රවිඳු ප්රනාන්දු 30/4, වනුජ සහන් 20/3, විජයකාන්ත් වියස්කාන්ත් 22/2
ශ්රී ලංකා ‘ඒ’ – 146/3 (පන්දුවාර 21.5) – නිශාන් මදුෂ්ක නොදැවී 51, පවන් රත්නායක 45, ලසිත් කෲස්පුල්ලේ 29, රකිබුල් හසන් 23/1, සාමියුන් බසීර් 29/1, අෆීෆ් හොසේන් 6/1
source: Sri Lanka Criket.lk















