රුපියල් මිලියන 600ක ඉන්දීය ආධාර යටතේ වතු පාසල් 09ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි

රුපියල් මිලියන 600ක ඉන්දීයානු ආධාර යටතේ වතු පාසල් 09ක් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින අතර 2026.06.23 දින තෝරාගත් කොන්ත්‍රාත්කරුවන්ට කොන්ත්‍රාත් ප්‍රදානය කර ඇති බව සභාගත කරන ලද වාර්තාවෙන් අනාවරණය වෙයි. ඉංජිනේරු අංශය දැනට කොන්ත්‍රාත් වටිනාකමෙන් 10%ක් ගෙවීම සඳහා අවශ්‍ය ලේඛන සකස් කර අනුමැතිය සඳහා එම ලේඛන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත ඉදිරිපත් කර ඇති බව ද එහි සඳහන් වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතිඥ චමින්දාණි කිරිඇල්ල මහත්මිය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාගත කළ පිළිතුරෙන් ඉහත කරුණු අනාවරණය විය.

ආර්ථික අර්බුදය සහ ඉන් ඇති වූ ඉදි කිරීම් වියදම් ඉහළ යාම හේතුවෙන්, මුලින් වෙන් කරන ලද රුපියල් මිලියන 300ක ආධාර මුදලෙන් ව්‍යාපෘතියේ හඳුනාගත් කාර්යයන් සිදු කළ නොහැකි බව ඉංජිනේරු අංශය විසින් දැනුම් දී ඇති අතර ඒ අනුව, ඉංජිනේරු අංශය විසින් සකස් කරන ලද රුපියල් මිලියන 600ක සංශෝධිත පිරිවැය ඇස්තමේන්තුවට ඉන්දීය රජය විසින් 2024 වසරේදී අදාළ ආධාර මුදල රුපියල් මිලියන 300 සිට රුපියල් මිලියන 600 දක්වා වැඩි කර ඇති බව සභාගත කළ පිළිතුරෙහි කියවෙයි.

2020-2021 කාලසීමාවේ පැවති කොවිඩ්-19 වසංගතය සහ 2022 වසරේ ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික අර්බුදය, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට දැඩි ලෙස බලපා ඇති බවත්, පළාත් ඉංජිනේරු දෙපාර්තමේන්තු මගින් සකස් කරන ලද ඇස්තමේන්තු සහ අනෙකුත් අදාළ තාක්ෂණික ලේඛන ලබා ගැනීම සඳහා එම දෙපාර්තමේන්තු සමඟ සම්බන්ධීකරණය කිරීමට සැලකිය යුතු කාලයක් ගතවීමත්, එක් එක් ටෙන්ඩර් ලේඛනය සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ එකඟතාව ලබා ගැනීමටත්, ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට පෙර ඔවුන් විසින් ලබා දුන් සංශෝධන සහ නිරීක්ෂණ ඊට ඇතුළත් කිරීමටත් අතිරේක කාලයක් ගතවීමත් මෙම ව්‍යාපෘතියේ කටයුතු ප්‍රමාදවීමට හේතු වූ කරුණු බව සභාගත කළ පිළිතුරෙහි වැඩිදුරටත් ප්‍රකාශ වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website