
නකල්ස් ප්‍රදේශයෙන් සොයාගත් 15 හැවිරිදි දැරිය සහ බිළිඳාගේ අනාගත යහපැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් රජයේ පාර්ශ්වයෙන් සිදුකළ යුතු සියලු මැදිහත්වීම් කඩිනමින් සහ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට මේ වන විට අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය පවසයි.
මේ සම්බන්ධයෙන් අමාත්‍යවරිය විසින් ඊයේ (14) නිකුත් කළ නිල නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.
“නකල්ස් ප්‍රදේශයෙන් වාර්තා වූ වයස අවුරුදු 15ක පමණ දියණියක් අනාරක්ෂිත දරු ප්‍රසූතියකින් අනතුරුව බිළිඳෙකු සමඟ සොයාගැනීමේ සිදුවීම මවක් ලෙස මටද අතිශය කම්පනකාරී පුවතකි.
කෙසේ වුවද, මෙම සිදුවීමට මුහුණ දුන් එම බාලවයස්කාර දියණියගේ සහ අලුත උපන් බිළිඳාගේ ජීවිත මේ වන විට ආරක්ෂිතව තිබීම සහනයට කරුණකි.
එම දරුවන් දෙදෙනාගේම ශාරීරික හා මානසික සෞඛ්‍යය මෙන්ම ඔවුන්ගේ අනාගත යහපැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් රජයේ පාර්ශවයෙන් සිදුකළ යුතු සියලුම මැදිහත්වීම් කඩිනමින් සහ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට මේ වන විටත් අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත.
මෙම සිදුවීම හුදෙකළා සිදුවීමක් ලෙස අප නොසළකන අතර වත්මනේ පවතින ආර්ථික, සමාජයීය, දේශපාලනික ඇතුළු විවිධ සංකීර්ණතා හේතුවෙන් අප දරුවන් විවිධ මට්ටම් වලින් සහ විවිධ ආකාරයන්ගෙන් අනාරක්ෂිත වන බව පැහැදිලි අතර දෙමව්පියන් සහ දරුවන් අතර පැවතිය යුතු අන්‍යොන්‍ය සම්බන්ධතාව සහ සන්නිවේදනය ක්‍රමයෙන් ගිලිහෙමින් යාම මෙවන් සිදුවීම්වලට දැඩි ලෙස සාධක වන බවද නිරීක්ෂණය වේ.
මේ හේතුවෙන් දරුවන්ට වඩාත් ආරක්ෂිත විය යුතු තම සමීපතම පරිසරය තුළ ඔවුන් අනාරක්ෂිත භාවයට පත්වීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී ඇත.
කවර තත්ත්වයක් යටතේ වුවද “තම දෙමව්පියන් ළඟ තමා සුරක්ෂිතය” යන නොසැලෙන විශ්වාසය දරුවන් තුළ ගොඩනැගීමට දෙමව්පියන් ලෙස අප සැම උත්සාහ කළ යුතු බව මගේ හැඟීමයි.
පවුල තුළ එවැනි සුරක්ෂිත පරිසරයක් සහ විවෘත සංවාදයක් ඇති කිරීම තුළින් මෙවැනි අනතුරුදායක සහ කම්පනකාරී සිදුවීම් ඇතිවීම බොහෝ දුරට අවම කර ගත හැකි බව මාගේ විශ්වාසයයි.















