ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 02 පෙට්‍රල් ලීටරක මිල රුපියල් 10කින් ඉහළ යාමට සාපේක්ෂව ත්‍රීරෝද රථ ගාස්තු ද ඉහළ දැමීමට සැලසුම් කර ඇති බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා පැවසුවේය.
“පසුගිය සැප්තැම්බර් මාසයෙත් පෙට්‍රල් මිල වැඩි කළා. දැන් ඊයේ රෑ සිට යළිත් පෙට්‍රල් මිල වැඩි වෙලා තියෙනවා. මාස දෙකට රුපියල් 25කින් පෙට්‍රල් මිල වැඩි වෙලා තිබෙනවා. මේක පාරිභෝගිකයා තේරුම් ගන්න ඕනේ. දැන් මේ වෙන කොට අපි කිලෝ මීටරයක් ධාවනය කරන්නේ රුපියල් 110කටයි. මේ මිල ඉහළ යාමත් එක්ක පළවෙනි කිලෝමීටරයේ රුපියල් 120ක් දක්වා ඉහළ යා යුතුයි. දෙවෙනි කිලෝමීටරයේ ඉඳන් අපි මේ වෙන කොට අය කරන්නේ රුපියල් 90යි. ඒක රුපියල් 100ක් විය යුතුයි කියන එක තමයි අපේ යෝජනාව වෙන්නේ” රෝහණ පෙරේරා මහතා සිය ඉල්ලීම් ගැන පැහැදිලි කරමින් සඳහන් කළේය.
තම සංගමයේ ඉල්ලීම සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂම සමඟ සාකච්ඡා කිරීමට කඩිනමින් පියවර ගන්නා බව කී රෝහණ පෙරේරා මහතා කොමිෂම තම ගැටලුවලට විසඳුම් නොදෙන්නේ නම් මීටරය සංශෝධනය කිරීමට සලකා බලන බව ද කීවේය.
“අපි සම්පූර්ණයෙන්ම අසරණතාවයකට පත් වෙලා ඉන්නේ. සෑම භාණ්ඩයමක මිල ඉහළ ගිහින් තිබෙනවා. ගාස්තු ඉහළ දැමීමට හැර අපටත් වෙන විකල්පයක් නැහැ” ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.













