අධ්‍යාපනයේ ප්‍රතිලාභ සැමට සමානව හිමිවිය යුතුයි – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

අධ්‍යාපනයේ ප්‍රතිලාභ සමාජයේ එක් කොටසකට පමණක් සීමා නොවිය යුතු බවත්, දරුවෙකුගේ අනාගතය තීරණය විය යුත්තේ ඔවුන් උපන් පවුලේ ආර්ථික තත්ත්වය හෝ ජීවත් වන ප්‍රදේශය මත නොව ඔවුන්ගේ උත්සාහය හා හැකියාවන් වර්ධනය කරගැනීමට ලැබෙන අවස්ථා මත බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.

කුරුණෑගල කැකුණගොල්ල ජාතික පාසලේ සියවස් සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.

වසර සියයක් යනු පාසලක ඉතිහාසයේ සන්ධිස්ථානයක් පමණක් නොව, පරම්පරා ගණනාවක සිහින, බලාපොරොත්තු, කැපවීම් සහ ජයග්‍රහණ සමඟ එකට බැඳුණු දීර්ඝ ගමනක් බව පැවසූ අග්‍රාමාත්‍යතුමිය, මේ සියවස පුරා කැකුණගොල්ල ජාතික පාසල දහස් සංඛ්‍යාත දරුවන්ගේ ජීවිතවලට ආලෝකයත් ඔවුන්ගේ අනාගතයට මග පෙන්වීමත් සිදුකර ඇති බව සඳහන් කළාය.

එමෙන්ම, මෙම දීර්ඝ ගමනට මුල් වූ පුරෝගාමීන්ගේ කැපවීම, විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ මෙහෙවර මෙන්ම දෙමාපියන්ගේ දායකත්වය ද ඇය ගෞරවයෙන් සිහිපත් කළාය.

අධ්‍යාපනය යනු විභාග සමත් වීමට පමණක් සීමා වූවක් නොවන බවත් දැනුම, නිර්මාණශීලීත්වය, සහෝදරත්වය සහ මනුෂ්‍යත්වය පිරි සැබෑ ගුණගරුක පුරවැසියන් බිහිකිරීම පාසලක මූලික වගකීම බවත් අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පෙන්වා දුන්නාය.

විශේෂයෙන්ම කුරුණෑගල වැනි විවිධ ජනවර්ග හා සංස්කෘතීන් සහිත ප්‍රදේශයක, එකිනෙකාගේ ආගමික හා සංස්කෘතික අනන්‍යතාවන්ට ගරු කරමින් සහයෝගයෙන් ජීවත්වීමට දරුවන්ට මඟපෙන්වීමේ වැදගත්කම ද අවධාරණය කළ අතර රජය හඳුන්වා දෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විෂයමාලා කිහිපයක් වෙනස් කිරීමට පමණක් සීමා නොවී, සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියම නවීකරණය කරන වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කළාය.

ඒ අනුව 2027 වසරේදී 2 ශ්‍රේණිය සහ 6 ශ්‍රේණිය සඳහා නව විෂයමාලා හඳුන්වාදීමට කටයුතු යොදා ඇති බවද පැවසූ අග්‍රාමාත්‍යතුමිය, විෂය දැනුම, ඉගැන්වීම් ක්‍රමවේද, ගුරු පුහුණුව, භෞතික හා තාක්ෂණික සම්පත් ඇතුළු අධ්‍යාපනයේ ප්‍රධාන කුළුණු පහම ශක්තිමත් කරමින් නගරයේ මෙන්ම ගමේ පාසල් අතර පවතින පහසුකම් පරතරය අවම කිරීමට පියවර ගන්නා බව ද පැවසුවාය.

මෙම උත්සව අවස්ථාව සඳහා වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය, කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.කේ.එම්.අස්ලාම්, ගීතා හේරත්, ජී.ඩී.සුරියබංඩාර ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා, රාජ්‍ය නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website