නූතන තාක්ෂණයෙන් හෙබි මිනින්දෝරු සේවයක් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීමට සූදානම් – ජනපති

ජාතික සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී, කාර්යක්ෂම සහ නූතන තාක්ෂණයෙන් හෙබි මිනින්දෝරු සේවයක් රටට අත්‍යවශ්‍ය බවත්, ඒ වෙනුවෙන් වූ පහසුකම් ලබා දීමට රජය පියවර ගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (23) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවති රජයේ මිනින්දෝරු සංගමයේ 100වෙනි වාර්ෂික සම්මේලනයට එක් වෙමිනි.

මෙරට රාජ්‍ය යන්ත්‍රණයේ පැරණිතම දෙපාර්තමේන්තුවක් වන මිනින්දෝරු දෙපාර්තමේන්තුව සහ සියවසක් සපුරන රජයේ මිනින්දෝරු සංගමය සිය අභිමානවත් ගමන්මග තුළ වෘත්තීය ගරුත්වය සහ සේවා ප්‍රමිතීන් සුරකිමින් මෙරට සංවර්ධන ක්‍රියාවලියට ලබා දෙන සුවිශේෂී දායකත්වය මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් කෙරිණි.

තාක්ෂණික ප්‍රගතිය, වෘත්තීය සංවර්ධනය සහ දැනුම හුවමාරුව ප්‍රවර්ධනය කිරීම, මිනින්දෝරු සේවයේ අතීත පරම්පරාවල සේවය අගයමින්, අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා නව පරම්පරාවේ මිනින්දෝරුවන් සූදානම් කිරීම මෙන්ම නිවැරදි සහ විශ්වාසදායක මිනින්දෝරු සේවාවන් තුළින් ජාතික සංවර්ධනයට අඛණ්ඩව දායක වීමට රජයේ මිනින්දෝරු සංගමය අපේක්ෂා කරයි.

මෙම 100වෙනි වාර්ෂික සම්මේලනයට සහභාගි වීම සනිටුහන් කරමින් ජනාධිපතිවරයා වෙත සිහිවටන තිළිණයක්ද පිළිගැන්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

අපේ ආර්ථිකය ඉතාමත් හොඳ ස්ථාවර තැනකට ගෙන ඒමටත්, ඒ ආර්ථිකයෙන් ලබාගන්නා ප්‍රතිලාභ ජනතාව වෙත ගලා යැවීමටත්, අපි විශාල වෙහෙසක් දරනවා. සැලකිය යුතු ප්‍රමාණයකින් රාජ්‍ය ආදායම ඉතාමත් ශක්තිමත් තැනකට ගෙන ඒමට අපට හැකි වී තිබෙනවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට 2025 වසරේදී අපේක්ෂිත ආදායම 110% දක්වා වර්ධනය වුණා. මීට පෙර කිසිදු අයවැයකින් අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරාගැනීමට නොහැකි වූ අතර සැබවින්ම පැවැතියේ ඊට වඩා බෙහෙවින් අඩු මට්ටමකයි.

2026 වසරේද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව,රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ප්‍රධාන ආදායම් ප්‍රභව වෙත ලබා දී ඇති ඉලක්ක සපුරාලමින් ඉතා යහපත් ආදායම් මට්ටමක් ලබා ගැනීමට සමත් වුණා.

එදා රජයට මුදල් නොමැති වූ බැවින් නිරන්තරයෙන් මුදල් මුද්‍රණය කිරීමට හෝ බැංකු පද්ධතියෙන් ණය ගැනීමට සිදු වුණා. 2022 වකවානුවේදී භාණ්ඩාගාර ගිණුම රුපියල් බිලියන 700ක පමණ ඍණ මට්ටමක පැවැති නමුත්, අද වන විට රුපියල් ට්‍රිලියනයකට ආසන්න ධන අතිරික්තයක් භාණ්ඩාගාර ගිණුමේ පවතිනවා. එමගින් පැවැති රුපියල් අර්බුදය සැලකිය යුතු ලෙස නිරාකරණය කරගෙන තිබෙනවා.

රටට අවශ්‍ය ඩොලර් උපයා ගැනීමට නොහැකි වීම ආර්ථික අර්බුදයට හේතු වුණා. 2025 වසරේදී ජංගම ගිණුමේ ශේෂය එනම් රට තුළට පැමිණි සහ පිටතට ගිය ඩොලර් ප්‍රමාණය අතර වෙනස — ඉතා වැදගත් මට්ටමකට පැමිණියා. නිදහස් ශ්‍රී ලංකා ඉතිහාසයේ ජංගම ගිණුමේ අතිරික්තයක් පැවතියේ අවස්ථා තුනකදී පමණයි. එම අවස්ථාවල පැවතුණේ ඩොලර් මිලියන 300ක පමණ වැඩිවීමක්. හැබැයි 2025 දී අපගේ ජංගම ගිණුමේ අතිරික්තය ඩොලර් මිලියන 1800ක් දක්වා ඉහළ ගියා.

එහෙත් මැදපෙරදිග කලාපයේ ඇති වූ යුදමය තත්ත්වය හමුවේ අපට අනපේක්ෂිත බලපෑමකට මුහුණ දීමට සිදු වුණා. පසුගිය වසරේ තෙල් ආනයනය සඳහා ඩොලර් බිලියන 4ක් වැය වූ අතර, මෙවර අගෝස්තු අවසන් වන විටත් ඩොලර් බිලියන 4ක් වැය වී තිබෙනවා. වසරෙන් තුනෙන් දෙකකදී ඩොලර් බිලියන 4ක් වැය වූ බැවින් වසර අවසාන වන විට එය ඩොලර් බිලියන 6 ඉක්මවා යා හැකියි. එම නිසා ඩොලර් සඳහා ඇති වන තෙරපුම පාලනය කරගැනීම අප හමුවේ ඇති ප්‍රධාන අභියෝගයයි.

ඩොලර්වලින් ණය ගැනීමකින් තොරව දේශීය (භාණ්ඩාගාර) අරමුදල්වලින් පමණක් විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් ආරම්භ කර තිබෙනවා. කුරුණෑගල – ගලේවෙල අධිවේගී මාර්ගය, රඹුක්කන – ගලගෙදර අධිවේගී මාර්ගය, කහතුඩුව – ඉංගිරිය අධිවේගී මාර්ගය යන ව්‍යාපෘති මෙන්ම කැලණි වැලි දුම්රිය මාර්ගය විද්‍යුත්කරණය සඳහා රුපියල් බිලියන 600ක ඇස්තමේන්තුගත ව්‍යාපෘතිය ලබන වසරේදී භාණ්ඩාගාර අරමුදල්වලින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, රුපියල්වලින් වියදම් කළද අධිවේගී මාර්ග සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සහ යකඩ ආදිය ආනයනය කිරීමට සිදුවන බැවින් ඩොලර් වැයවීමක් සිදු වෙනවා. මෙවර ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 1330ක සිට ලබන වසර සඳහා රුපියල් බිලියන 2000 (ට්‍රිලියන 2) දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා. ප්‍රාග්ධන වියදම් වැඩි වන විට ඩොලර් සඳහා වන තෙරපුම වැඩි වන බැවින්, ඩොලර් උපයාගැනීම සහ ඩොලර් පිටතට ගැලීම අවම කරගැනීම අපගේ ප්‍රධාන ආර්ථික උපායමාර්ගය විය යුතුයි.

රට තුළ ඇති වන කම්පනයකට මුහුණ දීමට අවශ්‍ය රුපියල් පැවැතියද, ඩොලර් උපදවන මාර්ග බිඳ දමන හා ඩොලර් වැය කරවන බාහිර කම්පනයකට මුහුණ දීමට තරම් ආර්ථිකය තවමත් ශක්තිමත් නැහැ. බාහිර කම්පනවලට ඔරොත්තු දෙන ආර්ථිකයක් නිර්මාණය කිරීම අපගේ සැලසුමයි.

භාණ්ඩාගාරයට එකතු වන ධනය බිම් මට්ටමේ ජනතාව දක්වා ගෙන ගොස් ඔවුන්ගේ සේවා, ඉඩම් ගැටලු විසඳා, කෘෂිකාර්මික, අධ්‍යාපන සහ සෞඛ්‍ය පහසුකම් සැලසිය යුත්තේ දේශපාලන අධිකාරිය නොව ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයයි. ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් නොමැතිව ධනය පහළට ගෙන යා නොහැකියි.

අතීතයේදී රාජ්‍ය අංශයේ රැකියාවලට වැඩි කැමැත්තක් පැවැතුණද, වර්තමානයේ වෘත්තිකයන් රඳවා ගැනීමට නොහැකි වීම නිසා රාජ්‍ය සේවයේ ආකර්ෂණය ගිලිහී ගොස් තිබෙනවා. එම නිසා ඉංජිනේරුවන්, IT වෘත්තිකයන් සහ කළමනාකරුවන් බඳවා ගැනීමට දුෂ්කරතා පවතිනවා.

මේ සඳහා පියවර ගනිමින් 2025 අයවැයෙන් රාජ්‍ය සේවයේ මූලික වැටුප වැඩි කිරීමට තීරණය කළ අතර, එය 2025, 2026 සහ 2027 යන වසරවල අදියර 3කින් ක්‍රියාත්මක වෙනවා. එක් අදියරකට රුපියල් බිලියන 110 බැගින් වැය වන අතර, 2027 වන විට 2024 හා සංසන්දනය කිරීමේදී රුපියල් කෝටි 33,000ක (බිලියන 330ක) අමතර වැටුප් බරක් දැරීමට සිදු වෙනවා.

2028 අයවැයේදී අලුතෙන් මූලික වැටුප් වැඩිවීමක් සිදු නොවන බැවින්, එහිදී දීමනා පිළිබඳව කල්පනා කළ හැකියි. කෙසේ වෙතත් මෙවර අයවැයෙන්ද අත්‍යවශ්‍ය දීමනා ලබා දීමට සැලකිලිමත් වී තිබෙනවා.

අපිට නූතන තාක්ෂණයෙන් හෙබි මිනින්දෝරු සේවයක් අවශ්‍යයි. මිනින්දෝරු සේවයට අවශ්‍ය නූතන තාක්ෂණික උපකරණ සඳහා තක්සේරු අධ්‍යයනයක් ලබා දුනහොත් අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කිරීමට සූදානම්. ඒ වගේම මානව සම්පත සංවර්ධනය සහ දීමනා සම්බන්ධව මතුව ඇති ගැටලු නිරාකරණය කිරීමටද අවධානය යොමු කර තිබෙනවා.

වසර 20කට පෙර පැවැති තත්ත්වයට වඩා වර්තමානයේ අවශ්‍යතා වෙනස් වී ඇති බැවින්, යම් අධ්‍යයනයක් කර සේවා ව්‍යවස්ථාවේ අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමටද අවධානය යොමු කරනවා.

පසුගිය කාලයේ සිදු වූ දේශපාලන පත්වීම් නිසා රාජ්‍ය සේවයේ පහළ මට්ටම් පිරී පැවැතීමෙන් විශාල වැය බරක් පැමිණ තිබෙනවා. එම නිසා අත්‍යවශ්‍ය නොවන හෝ අකාර්යක්ෂම ආයතන 34ක් වසා දැමීමට හෝ ඒකාබද්ධ කිරීමට මුදල් අමාත්‍යාංශය කමිටුවක් පත්කර තිබෙනවා.හොඳ ශක්තිමත් වෘත්තිකයන්ගෙන් සමන්විත ආකර්ෂණීය රාජ්‍ය සේවයක් ගොඩනැගීම අපගේ අරමුණයි.

ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ,

මිණුම්පති ටී.එම්.අයි.තිලකරත්න යන මහත්ම මහත්මීහු සහ රජයේ මිනින්දෝරු සංගමයේ සාමාජික සාමාජිකාවෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website