රාජ්ය ආදායම රැස් කරන ප්රධානතම ආයතනයක් වන ශ්රී ලංකා රේගුව 2026 වසරේ සිය ආදායම් ඉලක්කය අභිබවමින් වාර්තාගත ආදායමක් රැස් කිරීම පිළිබඳව කම්කරු අමාත්ය සහ මුදල් හා ක්රමසම්පාදන නියෝජ්ය ආමාත්ය ආචාර්ය අනිල් ජයන්ත මහතා සහ ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය නිශාන්ත ජයවීර මහතා විසින් සියලු රේගු නිලධාරීන්ට සහ සහායක සේවකයන්ට රජය වෙනුවෙන් විශේෂ ස්තූතියක් පිරිනැමීය. ඒ අද(19) දින රේගු දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ ප්රගති සමාලෝචන සාකච්ඡාවකට එක්වෙමිනි.
2026 වර්ෂය සඳහා ශ්රී ලංකා රේගුව වෙත ලබාදී තිබූ ආදායම් ඉලක්කය වූ රුපියල් බිලියන 2207ක ආදායම් ඉලක්කය අභිබවමින් පසුගිය ඔක්තෝබර් 13 වන දිනට රුපියල් බිලියන 2208ක වාර්තාගත ආදායමක් රැස් කිරීමට ශ්රී ලංකා රේගුව සමත් විය. 2025 වසරේදී රේගුවේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2115ක් වූ අතර එය සම්පූර්ණ කරන ලද්දේ 2025 නොවැම්බර් මස 11 වන දිනය. ඒ අනුව 2025 වසරටත් වඩා වැඩි ආදායමක් වඩා වේගයෙන් රැස් කිරීමට ශ්රී ලංකා රේගුව සමත්ව ඇත.
අද(19) දින පැවති විශේෂ ප්රගති සමාලෝචන රැස්වීමේදී රේගුවේ පරිපාලන කටයුතු පිළිබඳවද සාකච්ඡා කරන ලදි. සහකාර රේගු අධිකාරි තනතුරු 200ක්, රේගු පරීක්ෂක තනතුරු 121ක්, රේගු නියාමක තනතුරු 51ක් සඳහා බඳවාගැනීමට දැනටමත් අවසර ලැබී ඇති බවත් වසර 06ක් පුරා පැවති රේගු නිලධාරීන්ගේ උසස්වීම් ගැටලුව 2027 වසර මැදදී සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට හැකියාව ලැබෙන බවත් මෙහිදී කරුණු අනාවරණය විය. ඒ සමඟ රේගු දෙපාර්තමේන්තුව තුළ වසර ගණනාවක් පුරා පැවති තනතුරු පුරප්පාඩු සහ උසස්වීම් ගැටලු අවසන් වේ.
මෙහිදී රැස්වීම් සභාව ආමන්ත්රණය කළ කම්කරු අමාත්ය හා මුදල් හා ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත මහතා රේගු නිලධාරීන්ට ස්තූතිය පළ කළ අතර ආදායම් රැස් කිරීම රජයක පැවැත්මට අතිශය වැදගත් බව පෙන්වා දෙන ලදි. විශේෂයෙන්ම 2022 ආර්ථික අර්බුදයක් ඇතිවීමට එක් ප්රධාන හේතුවක් වූයේ රජයේ වියදම සඳහා අවශ්ය රුපියල් නොමැති වීම බව අමාත්යවරයා මෙහිදී සිහිපත් කරන ලදි.
ආදායම් රැස් කිරීමේ කාර්යය සාර්ථකව සිදුකරන අතරම නිලධාරීන්ට සමාජ ජීවිතයක් සහ සංස්කෘතික ජීවිතයක් ලබාදීමද රජයේ අරමුණක් බව අමාත්යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්රකාශ කරන ලදි. ඒ සඳහා ඔබ ඉදිරිපත් කරන යෝජනා රජය කිසිසේත් බැහැර නොකරන බවද සහතික කරන ලදි.
ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය නිශාන්ත ජයවීර මහතා රැස්වීම අමතමින් සඳහන් කළේ ආදායම් රැස් කිරීමේ කාර්යය සාර්ථකව සිදුකිරීම රජයේ ණය සහ ණය පොලී වාරික අඩු කිරීමට හේතු වන බවයි. එසේම රටේ සංවර්ධන කටයුතු සඳහා අරමුදල් වෙන් කිරීමට හා මෙට්රෝ බස් සේවය වැනි පොදු පහසුකම් ඉහළ නැංවීම සඳහාද ආදායම් රැස්කරන ආයතනවල සාර්ථකත්වය ඉවහල් වන බවත් ඒ මහතා සඳහන් කරන ලදි.
මෙම සාර්ථකව ආදායම් රැස් කිරීමේ ප්රවණතාවය ඉදිරියටත් පවත්වාගෙන යාමේ වැදගත්කම පැහැදිලි කළ නියෝජ්ය අමාත්යවරයා රජයේ අරමුණ වන්නේ රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආදායම් රැස් කරන ආයතන හැකිතාක් ඩිජිටල්කරණය කිරීම බව පෙන්වා දෙන ලදි. ඒ හරහා කාර්යක්ෂමතාව ඉහළ දමා ගැනීමටත් වංචා දූෂණ අවම කරගැනීමටත් හැකිවන බව නිශාන්ත ජයවීර මහතා සඳහන් කරන ලදි.
අවසාන වශයෙන්, පසුගිය 2025 වසරේ නොවැම්බර් මාසයේ ආදායම් ඉලක්කය සම්පූර්ණ කළ රේගුව මෙම වසරේදී ආදායම් ඉලක්කය ඔක්තෝබර් මසදී සම්පූර්ණ කරගැනීමට හැකි වූ බවත් ඒ සඳහා දායකත්වය දුන් රේගු නිලධාරීන් සහ සහායක සේවාවන්වල නිලධාරීන්ට රජය වෙනුවෙන් ස්තූතිය පළ කරන බවත් ප්රකාශ කරන ලදි.
මේ අවස්ථාව සඳහා ශ්රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ රේගු අධ්යක්ෂ ජනරාල් විමල් ලියනගම මහතා ඇතුළු රේගු අධ්යක්ෂවරුන් සහ අතිරේක අධ්යක්ෂකවරුන් එක්ව සිටියහ
















