ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්රීසි ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට 2026 මැයි 24වන දින පැවැත්වූ ලිඛිත තරග විභාගයට අදාළ ප්රතිඵල නිකුත් කිරීම අද (14) ආරම්භ කළ බව අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යංශ ලේකම් නාලක කළුවැව මහතා පැවසුවේය.
මෙම විභාගය සමත්ව ජාතික පාසල් සහ පළාත් පාසල් යන පාසල් වර්ග දෙකට ම අදාළව සම්මුඛ පරීක්ෂණ සඳහා තේරී පත්වූවන්ගේ නාම ලේඛන මේ වන විට නිකුත් කරමින් පවතින බව කළුවැව මහතා පැවසුවේය.
නොවැම්බර් මස 15 වන දා සිට පළාත් මට්ටමින් සහ ජාතික මට්ටමින් සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට සැලසුම් කර ඇති බව නාලක කළුවැව මහතා සඳහන් කළේ ය.
ඔහු සඳහන් කළේ, 17,000ක අපේක්ෂකයින් පිරිසක් සම්මුඛ පරීක්ෂණ කැඳවන බව ය.
අධ්යාපන අමාත්යංශයේ නිල වෙබ් පිටුවට පිවිසීමෙන් මෙම ප්රතිඵල ලබා ගත හැකි බවත් අද දිනයේ තුළ ප්රතිඵල නිකුත් කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද කළුවැව මහතා ඔහු සඳහන් කළේ ය.
ජාතික සහ පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු 23,000ක් සම්පූර්ණ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවත් මේ අවස්ථාවේ සම්මුඛ පරීක්ෂණයට කැඳවීමට හැකියාව ඇත්තේ 17,000ක පමණ පිරිසක් බවත් අධ්යාපන අමාත්යාංශ ලේකම්වරයා පැවසීය.
“නමුත් අපි ඉදිරියේදී ඊළඟ වටයකටත් ගිහිල්ලා මේ 23,000 කියන සංඛ්යාව අපි සම්පූර්ණ කරනවා,” ඔහු පැවසීය.
මෙම මස අවසානයේදී අධ්යාපන අමාත්යාංශයේ සහ අදාළ පළාත් රාජ්ය සේවා කොමිෂන් සභා හෝ පළාත් අධ්යාපන අමාත්යාංශ වෙබ් අඩවි හරහා ද සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන කාලසටහන් හා අදාළ අනෙකුත් තොරතුරු ප්රකාශයට පත් කෙරේ.
• බස්නාහිර පළාත = https://moe.gov.lk/en/western-province/
• මධ්යම පළාත = https://moe.gov.lk/en/central-province/
• දකුණු පළාත = https://moe.gov.lk/en/southern-province/
• උතුර පළාත = https://moe.gov.lk/en/northern-province/
• නැගෙනහිර පළාත = https://moe.gov.lk/en/eastern-province/
• වයඹ පළාත = https://moe.gov.lk/en/north-western-province/
• උතුරු මැද පළාත = https://moe.gov.lk/en/north-central/
• ඌව පළාත = https://moe.gov.lk/en/uva-province/
• සබරගමුව පළාත = https://moe.gov.lk/en/sabaragamuwa-province/















