විශ්වාසයෙන් යුතුව ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා එක් වන්න : ආයෝජකයන්ට හිතකාමී සහ සුරක්ෂිත පරිසරයක් අපි ගොඩනඟා තිබෙනවා – ජනපති

ආයෝජන සඳහා හිතකර පරිසරයක් ගොඩනැඟීම වෙනුවෙන් විනිවිදභාවයෙන් යුත් පාලන ක්‍රමවේදයක් පවත්වාගෙන යාම, අවශ්‍ය නීති හා රෙගුලාසි සම්පාදනය කිරීම සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රජය කැපවී සිටින බැවින් විශ්වාසයෙන් යුතුව ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා එක්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙස්, විදෙස් ව්‍යාපාරික ප්‍රජාවට ඇරයුම් කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ආයෝජන අවස්ථා පිළිබඳ ජාතික සහ ජාත්‍යන්තර අවධානය යොමු කරමින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වෙන 2026 – ශ්‍රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව සඳහා ඊයේ (12) පස්වරුවේ එක් වෙමිනි.
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන මෙම සමුළුව “වෙනස් වන ගෝලීය ආර්ථිකය තුළ ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම: ඔරොත්තු දීමේ හැකියාව, ප්‍රතිසංස්කරණ සහ ආර්ථික ප්‍රතිපත්තියේ අනාගතය” යන තේමාව යටතේ පැවැත්වේ. සමුළුව අදින් (13) අවසන් වේ.
රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින්, ප්‍රතිපත්ති සම්පාදකයන්, ව්‍යාපාරික ප්‍රජාව සහ ජාත්‍යන්තර ආයෝජකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවේදී විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම, අපනයන පුළුල් කිරීම සහ තිරසර ආර්ථික වර්ධනය සඳහා ඇති අවස්ථා පිළිබඳව අවධානය යොමු කෙරේ. ශ්‍රී ලංකාවේ ආයෝජන විභවය ජාත්‍යන්තරයට හඳුන්වා දීම සහ රටේ දිගුකාලීනආර්ථික සංවර්ධනය සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණකි.
මෙහිදී මතු කළ ප්‍රශ්න සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබා දුන් පිළිතුරු පහත පරිදි වේ,
ප්රශ්නය:
ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ දුප්පත්කම තුරන් කිරීම සඳහා මේ වන විට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම මිලියන 05කට ආසන්න ජනතාවක් අස්වැසුම ප්‍රතිලාභය ලබනවා. අපි මේ කණ්ඩායම ආර්ථික ප්රවාහයට ඒකාබද්ධ කරගන්නේ කොහොමද?
පිළිතුර:
අපේ ප්‍රධාන අභියෝගය වන්නේ ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීමයි. මෑතකදී ඉදිරිපත් කරන ලද ලෝක බැංකු වාර්තාවක සඳහන් කර තිබෙනවා ග්‍රාමීය දුප්පත්කම 16.9%ක් මට්ටමක පවතිනවා කියලා. මෙය ගොඩනැගිල්ලක් හදනවා වගේ, පාරක් හදනවා වගේ වසරකින් දෙකකින් නිම කළ හැකි දෙයක් නොවෙයි. ඒ සඳහා ඉලක්කගත අඛණ්ඩ සැලැස්මක් සහිත වැඩපිළිවෙළක් අවශ්‍යයි.
ඒ වගේම ඕනෑම රටක රජයක් විසින් බලාගත යුතු අනාරක්ෂිත ජන කණ්ඩායමක් සිටිනවා. එය බැහැර කරන්න බැහැ. සියලුදෙනා ආර්ථික ප්රවාහයේ පංගුකරුවන් බවට පත් වන්නේ නැහැ. ඕනෑම රටක යම් සමාජ ආරක්ෂණ ජාලයක් මගින් බලාගත යුතු සමාජ කණ්ඩායමක් සිටිනවා. දැන් අපිට තිබෙන ප්රශ්නය එම සමාජ කණ්ඩායම විශාල ප්‍රමාණයක් වීමයි. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. ග්‍රාමීය ජනතාවට අලුත් ආර්ථික අවස්ථා නිර්මාණය කිරීමට අසමත් වීම ඊට හේතු වී තිබෙනවා. ග්‍රාමීය ජනතාවට තිබෙන්නේ ඉතා සීමිත ආර්ථික අවස්ථා ප්‍රමාණයක්. එක්කෝ කෘෂිකර්මාන්තය, කරදිය, මිරිදිය ධීවර කර්මාන්තය කුඩා වෙළෙඳසැළක් පවත්වාගෙන යාම එම ආර්ථික අවස්ථා වෙනවා. ඒ නිසා ග්‍රාමීය දුප්පත්කම තුරන් කරනවා නම් පළමු අභියෝගය වන්නේ අපි ඔවුන්ට නව ආර්ථික අවස්ථා උදා කර දෙන්නේ කොහොමද කියන කාරණයයි.
අපේ කෘෂිකර්මාන්තය දිගු කලක් පැවතුණේ යැපුම් මට්ටමේ මිස වාණිජ ආර්ථිකයක නොවේ. ඒ නිසා එය ආහාර සුරක්ෂිතතාව සඳහා යොදාගනිමින් ග්‍රාමීය ජනතාවට නව ආර්ථික අවස්ථා නිර්මාණය කළ යුතුයි. ඔවුන් ස්වයංව ආර්ථික අවස්ථා නිර්මාණය කර ගැනීමේදී ප්‍රාග්ධන හැකියාවන් සහ නව තාක්ෂණය, වෙළෙඳපොළ හැකියාව නොමැති වීම බාධාවක් වී තිබනෙවා. එසේනම් අපේ වගකීම වන්නේ මෙම කාර්යයන් ඉටු කර දීමයි. අපි මේ වන විටත් ඇප රහිත ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කර තිබෙනවා.
ප්රාග්ධනය සහ වත්කම් නොමැති ග්‍රාමීය ව්‍යවසායකයින් උදෙසා ආරම්භ කළ ඇප රහිත ණය ක්‍රමය හරහා මේ වන විට රුපියල් බිලියන 18කට ආසන්න මුදලක් ලබා දී නව ව්‍යවසායකයින් ගොඩනඟා තිබෙනවා. ඒ වගේම නව තාක්ෂණය ඊට බද්ධ කළ යුතුයි. ඒ වගේම රජය උපයාගන්නා ලද ධනය ග්‍රාමීය ජනතාව වෙත තල්ලු කළ යුතුයි. එහිදී අපි උපායමාර්ග දෙකක් අනුගමනය කරනවා. ප්‍රධාන වශයෙන් ග්‍රාමීය සංවර්ධන මාවතක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා මෙවර අයවැය ලේඛනයෙන් අපි, කුඩා වැව් සහ ඇළ මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 35ක් වෙන් කර තිබෙනවා. ඒ වගේම ප්‍රජාශක්ති ග්‍රාමීය වැඩසටහනට රුපියල් බිලියන 25ක් වෙන් කර තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ග්‍රාමීය මාර්ග සඳහා රුපියල් බිලියන 24ක් ඇතුළුව රුපියල් බිලියන 100 කට ආසන්න මුදලක් ග්‍රාමීය ජනතාව වෙත සෘජුවම යොමු කර තිබෙනවා.
ඒ වගේම අපේ ආර්ථික උපායමාර්ගය වන්නේ ගමේ ජනතාව ගමේම තබා ගනිමින් සංවර්ධන උපායමාර්ගයකට යාමයි. ඒ අනුව ගම සහ නගරය අතර වේගවත් සන්නිවේදන පද්ධතියක් සහ දියුණු මාර්ග පද්ධතියක් ඇති කිරීම වෙනුවෙන් 2027 අයවැය මගින් වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. එවැනි වැඩසටහන් මගින් තමයි ග්‍රාමීය දුප්පත්භාවයට විසඳුම් සෙවිය යුතු වන්නේ. එහිදී කිසිසේත්ම අද සොයන විසඳුමකින් හෙට පිළිතුරු ලැබෙන්නේ නැහැ. එය දිගුකාලීන, අඛණ්ඩ සැලැක්මක් සහිත වැඩපිළිවෙළක්. අපි මේ වන විට එයට මුලපුරලා තිබෙනවා.
ප්රශ්නය:
ආයෝජනවලදී ව්‍යාපෘති අනුමැතිය සඳහා ගතවන කාලය කොහොමද අඩු කර ගන්නේ?
පිළිතුර:
එළඹෙන අයවැයෙන් අපි රුපියල් ට්‍රිලියන 2ක ප්‍රාග්ධන වියදමක් සැලසුම් කර තිබෙනවා. එය පසුගිය යුගයන්ට වඩා විශාල වැඩිවීමක්. 2023දී ආණ්ඩුව විසින් වෙන් කරන ලද ප්‍රාග්ධන වියදම්වලින් වියදම් කර තිබෙන්නේ 64%යි. 2024දී වියදම් කර තිබෙන්නේ 54%යි. එසේ වුවද, මැතිවරණ සහ ස්වභාවික ආපදා පැවැති 2025 වසරේදී එය 76% දක්වා ඉහළ නංවා ගැනීමට අපිට හැකි වුණා.
අපේ රටේ මනෝභාවයක් තිබුණා සෑමවිටම රාජ්‍ය යාන්ත්‍රණය දූෂණයේ යෙදෙනවා. මෙය වැළැක්වීමට යැයි කියමින් අතීතයේ පියවරෙන් පියවර සාදන ලද ඇතැම් නීති නිසා අද වන විට කිසිදු කාර්යයක් වේගයෙන් කරගත නොහැකි මට්ටමට පත්ව තිබෙනවා.
පැරණි ක්‍රමවේදය සකස් වී තිබුණේ භාණ්ඩ මිලදී ගැනීමට පමණයි. හැබැයි තවදුරටත් අපි භාණ්ඩ විතරද මිලදී ගන්නේ. අපි මෘදුකාංග පද්ධතියක් මඟින් විසඳුම් මිලදී ගන්නවා. හැබැයි එවැනි ක්‍රමයක් අපේ මිලදී ගැනීමේ පරිපාටියේ නැහැ. ඒ නිසා අපේ අපේක්ෂාව වන්නේ එම විශේෂ ක්ෂේත්‍ර හඳුනාගෙන නව ප්‍රසම්පාදන පරිපාටියක් සකස් කිරීමයි. ඒ නිසා නව ප්‍රසම්පාදන පද්ධතියක් හඳුන්වාදිය යුතු විශේෂ සහ අලුත් ක්ෂේත්‍ර ගණනාවක් අපි හඳුනාගෙන තිබෙනවා. අපි මේ පිළිබද අවධානය යොමු කර තිබෙනවා. ඒ වගේම මීට පෙර අයවැය ලේඛනය සම්මත වී ප්‍රතිපාදන වෙන් කිරීමෙන් පසුව තමයි මිලදී ගැනීමේ පරිපාටිය ආරම්භ වන්නේ. බොහෝදුරට අගෝස්තු, සැප්තැම්බර් තමයි මේ ප්‍රසම්පාදන කටයුතු අවසන් වන්නේ. දැන් අපි ඒක විසඳා තිබෙනවා. දැන් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් මුදල් වෙන් කරන බව සහතික කරනවා. ඒ අනුව ටෙන්ඩර් කැඳවා, සැපයුම් කරුවන් තෝරා ගැනීම ආරම්භ කළ හැකියි. උදාහරණයක් වශයෙන් කුරුණෑගල-ගලේවෙළ අධිවේගී මාර්ගය. ඒ අනුව, ජනවාරි වන විට ටෙන්ඩරය ප්රදානය කිරීමට අපි බොහෝදුරට අපේක්ෂා කරනවා. ඒ අනුව එවැනි විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් අපි සැලසුම් කරලා තිබෙනවා. ඒ වගේම අපි ඊ-ප්‍රසම්පාදන ක්‍රියාවලියට යා යුතුයි. ඒ වගේම විශේෂඥ හැකියාව තිබෙන අය විශේෂ වැටුප් තලයක පිහිටුවමින් රාජ්‍ය සේවය තුළ තබා ගැනීමට අපි කටයුතු කරනවා. එමගින් තමයි අපට ප්‍රාග්ධන වියදම් 100%කට ආසන්න අගයකට ගේන්න හැකිවෙන්නේ.
ප්රශ්නය:
මෑතකදී රේගු නීති, කම්කරු නීති පිළිබඳ රාජ්‍ය සහ පෞද්ගලික අංශ හවුල්කාරීත්ව නීති, රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණ නීති ගැන කතා කළා නේද?
පිළිතුර:
රාජ්‍ය ව්‍යවසාය (SOE) පිළිබඳ නීතිය නම් තව සති දෙකකින් පමණ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙනවා. එවිට එය ඉක්මනින් ගැසට් කළ හැකියි. රාජ්‍ය සහ පෞද්ගලික අංශ හවුල්කාරීත්ව නීතිය දැනට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් සකස් කර නීතිපතිතුමාට යොමු කර තිබෙනවා. නීතිපතිතුමාගේ නිර්දේශ මත අපට ඉදිරි කටයුතු කරන්න පුළුවන් කම තිබෙනවා. ඒ වගේම අපේ කම්කරු නීතිය පනත් 12ක පමණ ගැබ් වෙලා තිබෙනවා. විවිධ ආකාරයේ පනත් කිහිපයකම මේ කම්කරු නීති තිබෙනවා. දැනට සකස් කළ පනතක් තිබෙනවා. යම් කාලයක් ගියත් ඉතා ඉක්මනින් එය නැවත සමාලෝචනයට ලක් කරනවා. ඒ වගේම රේගු ආඥා පනත පිළිබඳව වාණිජ මණ්ඩලයෙන් අදහස් ඉදිරිපත් කළා මම දැක්කා. ඒ වගේම රේගු දෙපාර්තමේන්තුව පැත්තෙනුත් අදහස් තිබුණා. දීර්ඝ කාලයකට පසු අපට එකඟතාවකට පැමිණීමට හැකියාව ලැබී තිබෙනවා. වඩාත් සුදුසු යෝජනාව රේගු ආඥා පනත සංශෝධනය කිරීමයි. මම හිතන්නේ එහි යෝජනා දැනට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යවා තිබෙනවා. ඔවුන් ඉක්මනින් ඒ පනත සකස් කර ඉදිරිපත් කරයි. බොහෝදුරට ජනවාරි, පෙබරවාරි මාසවල මේ පනත් සියල්ල පාර්ලිමේන්තුවේ සම්මත කර ගත හැකියි.
ප්රශ්නය:
සංචාරක කර්මාන්ත ක්ෂේත්රය සම්බන්ධයෙන් කලාපීය රටවල ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බව අපි කතා කරනවා. ඔබතුමා පවසන්නේ මේ සඳහා අපේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය බලපාන බවද ? ඒකට මේ මුදල් යොදවන්න බැරිද?
පිළිතුර:
ඔව්. අපි කොහොමද ප්‍රචාරණ සැලැස්මක් මිලදී ගන්නේ? අපේ ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුව ඩෙස්ක් එකක් මිලදී ගන්න පුළුවන්. එහෙත් ප්‍රවර්ධන ප්‍රචාරණ වැඩසටහනක් කියන්නේ මොකක්ද? ඒක අදහසක්. අයිඩියා එකක්. අපි කොහොමද අයිඩියා එකක් මිලදී ගන්න. අපේ ප්‍රසම්පාදන ක්‍රමවේදය ඒකට අනුව හැදෙන්න ඕන. ඉතිහාසයේ අර විදිහට කළා කියලා කියන්න පුළුවන්. කොහොමද එහෙම කරලා තියෙන්නේ.?කවුද එහෙම කළා කියන්නේ. එක් ආයතනයක් හොඳයි කියල තෝරන එක නෙවෙයි වෙනත් ආයතනයක් තෝරන්නේ. එතකොට කවුද මේක මනින්නේ? කොතනද මේක මැනෙන්නේ? දැනට මේ ප්‍රමෝෂන් එකට අවුරුදු එකහමාරක විතර කාලයක් තිස්සේ උත්සාහ දරමින් ඉන්නවා. සංචාරක අධිකාරිය කියනවා ජනවාරිවල ටෙන්ඩර් කෝල් කරනවා කියලා. ඊට අමතරව අධිකාරිය රටවල් පහක කුඩාවට ප්රචාරක ව්‍යාපෘතියක් පටන් අරන් තියෙනවා. ඊට අමතරව සංචාරක ක්ෂේත්රයේ යෙදෙන ව්‍යාපාරික ආයතනවලින් ඉදිරිපත් කළ යෝජනාවක් තිබෙනවා. අපි ඒ ගැනත් බලනවා. ඔවුන් මේ වසරේ ගෙනෙන ලද සංචාරකයන්ට වඩා යම් ප්‍රතිශතයක් ලබන වසරේ ගෙනාවොත් ඒ ඉලක්කය ඉක්මවා ගෙනෙන සංචාරකයන් වෙනුවෙන් සංචාරක අධිකාරියෙන් යම් ගෙවීමක් කරන්න අපි ලබන අයවැයෙන් මුදලක් වෙන් කරනවා.
ප්රශ්නය:
පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. විද්‍යුත් කෝෂ ධාරිතාව වැඩි කිරීම සඳහා වැඩකටයුතු කෙරෙනවා අපි දුටුවා. ගෘහස්ථ සූර්ය බලශක්තිය වගේම පෞද්ගලික අංශත් සම්බන්ධ විය යුතු බව අප විශ්වාස කරනවා. එහිදී ගෙවීම් කිරීමේ ක්‍රමවේදයේ සංශෝධන ඉදිරියේදී අපට බලාපොරොත්තු විය හැකිද? ඒ වගේම සම්ප්‍රේෂණ ජාලයේ වැඩිදියුණුව පිළිබඳ අදහස මොකක්ද?ඒ සඳහා බිලියන හතරක් පහක් වැය වෙනු ඇති බවට අදහස් පළවෙනවා?
පිළිතුර:
කිලිනොච්චියේ සිට හබරණ දක්වා හයි ටෙන්ෂන් සම්ප්‍රේෂණ පද්ධතියක් ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත ශ්‍රී ලංකා රජය විසින් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව පුත්තලම- වාරියපොල, හබරණ – වේයන්ගොඩ ආදී හඳුනාගත් තවත් සම්ප්‍රේෂණ පද්ධතීන් කිහිපයක් තිබෙනවා. ඒවා පෞද්ගලික අංශය හරහා ඉදිකර ගැනීමට අප සැලසුම් කර තිබෙනවා. ලංකාවේ මෙතෙක් තිබෙන සියලුම සම්ප්‍රේෂණ පද්ධති ඉදිකර තිබෙන්නේ විදුලිබල මණ්ඩලය විසින්. ඒ සම්ප්‍රේෂණ පද්ධති සඳහා පුද්ගලික ආයෝජන කැඳවීමට අපේක්ෂාවක් තිබෙනවා. ඒ සඳහා දැනටමත් අපි ග්‍රිඩ් ලයින් හතරක් තෝරා ගෙන තිබෙනවා. ඒ හතර ඉතා ඉක්මනින් ටෙන්ඩර් කරන්නම්. එවිට පෞද්ගලික අංශයට සම්ප්‍රේෂණ පද්ධතියට සම්බන්ධ විය හැකියි.
ඒ වගේම බලශක්ති ක්ෂේත්රය පිළිබඳව අපි අවධානය යොමු කරනවා. එකක්, බලශක්තියේ ස්ථාවරභාවය, අඛණ්ඩභාවය. දෙවනි එක, බලශක්තිය සඳහා දරන වියදම. මේ දෙක මත තමයි අපේ බලශක්තියේ ප්‍රතිපත්තිය හැදෙන්නේ.
Feed in tariff කියන ක්‍රමවේදය ගත්තොත් එය ටෙන්ඩර් ක්‍රමවේදයක් නෙවෙයි. ඒ PUCSL විසින් හඳුන්වා දෙන අගයකට අපි විදුලිය මිලදී ගන්නවා. කාලාන්තරයක් තිස්සේ පාවිච්චි කෙරුණේ එයයි. හැබැයි, බලශක්තිය මිලදී ගැනීමට දරන පිරිවැය අඩු කිරීමේ දෙවනි උපාය මාර්ගය ගත හොත් එය වැරදියි. එවැනි නිශ්චිත අගයක් දී මිලදී ගන්නවාට වඩා විවෘත තරග ටෙන්ඩර් පරිපාටියට මිල දී ගත්තාම අපිට අඩුවට ගන්න පුළුවන්.
උදාහරණයක් ලෙස ගතහොත් අපි පත්වන විට මන්නාරමේ විදුලි ව්‍යාපෘතියක් තිබුණා. එහි ඒකකයක් ගන්න අපි එකඟ වී තිබුණේ ඩොලර් ශත 8.22. අපි ඒ සමාගම සමඟ සාකච්ඡා කර ඩොලර් 5ට අඩුවෙන් එනවා නම් අපි සූදානම් බව දැන්වුවා. එහෙත් ඔවුන් ඒ ගණනට පැමිණියේ නැති නිසා එම එකඟතාව බිඳුණා. ඉන්පසු මෙගාවොට් 50 දෙකක් අපි ටෙන්ඩර් කළා. පළමුවෙනි මෙගාවොට් 50 අපිට ආවේ ඩොලර් ශත 3.96ට. දෙවනි ටෙන්ඩරයේ මෙගා වොට් 50ට අපට ලැබුණා ඩොලර් ශත 3.74. මේ තරගකාරීත්වය තමයි අපට වැඩි ලාභ ගෙනත් දෙන්නේ.
ඒ නිසා අපි Feed in tariff එකට වඩා අපි අවධානය යොමු කරන්නේ තරගකාරීත්වයෙන් අපිට අවශ්‍ය වන ජනන පද්ධතිය සම්පූර්ණ කර ගැනීමටයි. විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්තියට විරුද්ධ ආණ්ඩුවක් කියලා අපේ ආණ්ඩුව පිළිබඳ මතයක් තිබුණා. අපි පත් වන විට මුළුනින්ම සූර්ය බලශක්තිය තිබුණේ මෙගා වොට් 1400යි. එහෙත් මේ වසර දෙක ඇතුළත අලුතින් මෙගා වොට් 1500ක් ඇති කර තිබෙනවා. තවත් මෙගාවොට් 1100 කට අපි ගිවිසුම්ගත වී තිබෙනවා. ලබන වසර වන විට එය අවසන් වෙනවා. අපේ රජය තුළ අලුතින් මෙගා වොට් 2600ක් සූර්ය බලශක්තියෙන් නිෂ්පාදනය වෙනවා.
ඒ වගේම පුනර්ජනනීය බලශක්තියේ අනිත් පැත්ත තමයි ඒ සඳහා විශාල ඉඩක් වැය වීම. සූර්ය බලශක්තියට ගත්තොත්, සාමාන්‍යයෙන් සෝලා මෙගා වොට් එකක් හදන්න අක්කර තුන හමාරක් පමණ යනවා. අපේ වැනි කුඩා රටක ඒ තරම් ඉඩම් ප්‍රමාණයක් සෝලා මෙගා වොට් එකක් හදන්න යොමු කරනවාද කියන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා තමයි ජලාශ්‍රිතව පාවෙන සෝලා පද්ධති පිළිබඳ අදහස අනුව, ඉබ්බන්කටුව වැවේ මෙගා වොට් පහක ව්‍යාපෘතියක් ආරම්භ කළේ. ඉබ්බන්කටුවේ මුළු ජලාශය අක්කර 1000යි. අපට මෙගාවොට් පහ නිෂ්පාදනය කරන්න ගියේ අක්කර 10යි. ඒ කියන්නේ 1%යි. ඒ කියන්නේ ජලාශයකින් 1%ක් වෙන් කරලා තමයි අපි මෙගාවොට් 5ක් ඉබ්බන්කටුවෙන් හැදුවේ. එවිට අපේ භූමිය යටත් වන්නේ නෑ. ඒ නිසා අපේ වැඩි අවධානය යොමු කරන්නේ පාවෙන සෝලා පද්ධතිවලටයි.
දැන් අපි රන්දෙණිගල ආරම්භ කර තිබෙනවා. EIA එක සහ ජනන පද්ධතිය ගොඩනැගීමත් යන දෙකම පෞද්ගලික අංශයට ටෙන්ඩර් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මොරගහකන්ද, සමනලවැව, චන්ද්‍රිකා වැව ආදී තෝරා ගත් ජලාශ කීපයකම අපි පාවෙන සූර්ය පද්ධතිවලට යාමට අපේක්ෂා කරනවා. මොකද පුනර්ජනනීය බලශක්තිය දිශාවට යොමු වීමට අපට අවශ්‍යයයි. අපේ බලශක්තියේ තිබුණ විශේෂය තමයි අනෙක් සෑම භාණ්ඩයටකටම වඩා ඒ වෙලාවේ නිෂ්පාදනය කර ඒ වෙලාවේ පාවිච්චි කළ යුතුයි. මේකයි තියෙන ප්රශ්නය. අනෙක් සෑම භාණ්ඩයක්ම අපට ගබඩා කර ගන්න පුළුවන්. හැබැයි විදුලියේදී අපි මුහුණ දෙන ප්රශ්නය තමයි මේක. සෝලාවල අපට වැඩි හැකියාව තිබුණේ දවල් කාලයේදී නිෂ්පාදනය කිරීමටයි. එතකොට අප මුහුණ දුන් ප්‍රශ්නයක් තිබුණා. දවල් කාලයේදී අපට ධාරිතාව වැඩි වෙනවා. එවිට සමහර මිලදී ගැනීම් අපට කපන්න සිදු වුණා. ඒ ගැනත් විශාල විවේචනයක් තිබෙනවා. එහෙත් පද්ධති කළමණාකරණ විශේෂඥයින් කියන්නේ දවල් කාලයේ අපේ ධාරිතාව වැඩි බව.
එහෙම නම් අපි දවල් කාලයේ සෝලා ගබඩා කර රාත්‍රී කාලයේ පාවිච්චි කළ යුතුයි. ඒ සඳහා අප මේ වන විට මෙගාවොට් 160 ටෙන්ඩරයක් කැඳවා තිබෙනවා. මම හිතන්නේ නොවැම්බර් මාසය වන විට 13ක් හදලා අවසන් වෙනවා. ඉතුරු 3ත් අවසන් කරාවි. තව අපි මෙගාවොට් 250ක් බැටරි ටෙන්ඩර් කළා. දැන් එය ඇගයීමට ලක් කරමින් තිබෙනවා. කියන්න සතුටුයි දැනට ඇගයීම් කරන ඒවායේ තොරතුරු අනුව මේ 250න් අපි මෙගා වොට් 160 බැටරි ටෙන්ඩර් කරනවාට වඩා 10%ක මිල අඩු වීමක් තිබෙනවා. ඊළඟට දැනට තිබෙන සෝලාවල හිමිකාරිත්වය තිබෙන අයටම තව මෙගාවොට් 150ක් ටෙන්ඩර් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම ගෘහස්ථ වහල මත තිබෙන සෝලා පැනල පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. මෙගාවොට් එකට වඩා වැඩි බැටරිවලට තමයි අපි බදු සහනයක් දෙන්නේ. ඊට අඩු බැටරිවලට බද්දක් තිබෙනවා. ඒ නිසා ඔවුන් අධෛර්යට පත් වෙනවා. මෙගාවොට් එකට වඩා අඩු අයට බදු සහනයක් දිය හැකිද කියා අපි කල්පනා කරනවා. එහෙත් අපට තාක්ෂණික ගැටලුවක් තිබෙනවා සෝලා ගබඩා කර ගැනීම සඳහා භාවිත කරන බැටරියයි, අනෙක් බැටරියයි අපි තාක්ෂණිකව හඳුනාගන්නේ කොහොමද?
ඒ ප්රශ්නය නිරාකරණය කර ගත හොත් අපට වෙනත් ගැටලුවක් නැහැ. දැන් මුළු ජනන ධාරිතාවෙන් 69%ක් තියෙන්නේ පුනර්ජනනීය ධාරිතාවක්.
සමහර දිනවල, ඊයේ ගත්තොත් අපේ බලශක්තියෙන් 70%-75%ක් අතර ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තිය වෙනවා. එය දිනපතා තත්ත්වය අනුව වෙනස් වෙනවා. පසුගිය දින හතරක් අඛණ්ඩව විදුලිය නිෂ්පාදනය කිරීමට ඒක ඩීසල් ලීටරයක් අපි පාවිච්චි කර නැහැ. ඒ නිසා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයට මේ යන ගමන ඉතාමත් සාර්ථකයි. එය විශාල ජයග්‍රහණයක් වනු ඇති. අපේ අපේක්ෂාව වන්නේ අඛණ්ඩ බලශක්ති සැපයුම සහ සාධාරණ මිලකට බලශක්තිය සැපයීමයි. අපි කටයුතු කරමින් තිබෙන්නේ ඒ මූලධර්ම දෙක මතයි.
ප්රශ්නය:
සිංගප්පූරුව වැනි රටක දළ ජාතික ආදායමට වරාය ආදායමින් 7%-8% ක පමණ දායකත්වයක් ලැබෙනවා. එහෙත් ලංකාවේ තවමත් ලැබෙන්නේ 2%-3%ක දායකත්වයක් පමණයි?
පිළිතුර:
අපේ ආර්ථික උපාය මාර්ගයේ වැදගත්ම සන්ධිස්ථානයක් තමයි වරාය. දැනට වරාය අධිකාරිය සතුව නැගෙනහිර ජැටිය තිබෙනවා. මේ ජැටියෙන් කන්ටේනර් හුවමාරු කරන්නේ ආසන්න වශයෙන් මිලියන 0.5ක් වගේ. ඒ කියන්නේ ලක්ෂ පහක් වගේ. එහෙත් නැගෙනහිර ජැටියේ කන්ටේනර් මිලියන 3.2ක් මෙහෙයවීමේ හැකියාවක් තිබෙනවා. එහෙම බැලුවොත් ගතවන දවසක් පාසා මේ සම්පතෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්නේ නැහැ. ඒ නිසා තවදුරටත් නැගෙනහිර ජැටිය හසුරවන කාර්යය රජයට පමණක් තනිව කළ හැකි බව මම විශ්වාස කරන්නේ නෑ. ඒ නිසා ජැටියේ අයිතිය ආණ්ඩුවට තබාගෙන කළමනාකරණය සඳහා සමාගමක් පිහිටුවා එහි කොටස් පෞද්ගලික ආයෝජකයින්ට පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල නැව් සමාගම් කිහිපයක් නැගෙනහිර ජැටියේ කළමනාකරණය සඳහා සාකච්ඡා කරමින් සිටිනවා. ඊළගට බටහිර ජැටියේ දෙවන අදියර. එහි දිය කඩනය හදන්න වෙනවා.
ඒ සඳහා ඇස්තමේන්තුව කලින් ඩොලර් බිලියන 1.1ක්. දැන් ඒකට ඩොලර් බිලියන 1.4ක් වැය වෙනවා.
ඒ වියදම දරලා බටහිර ජැටියේ දිය කඩනය හදා ගත්තොත් එතනත් අපිට කන්ටේනර් මිලියන 3.2ක මෙහෙයුම් කරන්න පුළුවන්. ලබන අයවැයෙන් මෙහි මූලික අධ්‍යයන කටයුතු කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කරනවා. දැනටමත් ආසියානු සංවර්ධන බැංකුවෙන් ශක්‍යතා අධ්‍යයන වාර්තාව සකස් කරනවා. මේ දෙසැම්බර් වන විට අතරමැදි වාර්තාවත් ලබන අප්‍රේල් වන විට සම්පූර්ණ වාර්තාවක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා. ඒ විදිහට අපි පර්යන්ත පද්ධතිය සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊළඟට වරායෙන් කෙරෙන්නේ හුදු කන්ටේනර් හුවමාරුවක් පමණද? එතනින් එහා දෙයක් අපිට කරන්න බැරිද? කියලා අපි කල්පනා කරන්න ඕනේ. එතනදි අපිට වරාය ලොජිස්ටික් මධ්‍යස්ථානයක් හැටියට සංවර්ධනය කරන්න පුළුවන්. කාලයක් තිස්සේ ඒ සඳහා ටෙන්ඩර් කැඳවා ගැටලු ගොඩක් ඇති වී තිබුණා. නඩු ගිහින් තමයි ඒක කෙළවර වුණේ. දැන් ඒ ප්‍රශ්න සියල්ල අවසන් කර තිබෙනවා සමාගම් වලට අදාළ වන්දි මුදල් ගෙවා ඒක අවසන් කරන්න එකගතාවක් ඇති කරගත්තා.
වරායේ ඇතුළෙ කන්ටේනර් තදබදය අවම කිරීමටත් කෙරවලපිටියේ බේස් 150ක අංගණයක් ඉදිකිරීමට කටයුතු කරමින් සිටිනවා. bunkeringවලත් බදු පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. අපි ඒ ගැනත් සලකා බලා ඉදිරි අයවැයෙන් ඊට සහනයක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මේ ජාත්‍යන්තර වෙළෙඳාමක් නිසා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට යටත්ව බදු අයකිරීම් සිදු කළ යුතුයි.
ප්රශ්නය:
නව කර්මාන්ත ගණයට වැටෙන බිග් ඩේටා, ඒ. අයි, ක්වොන්ටම් කම්පියුටින්ග්, බ්ලොක්චේන් යනාදී දේ ඇතුළත් ක්ෂේත්රයේ වසර පහ හයකට පෙර පැවති ගැටලුව වුණේ ප්‍රමාණවත් ශ්‍රම දායකත්වයක් නොතිබීම. දැන් තිබෙන ප්රශ්නය වන්නේ වසරකට රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් 17,000ක් මේ ක්ෂේත්රයට එක් වෙනවා. එහෙත් ප්‍රමාණවත් රැකියා නැහැ. මෙය ලංකාවේ පමණක් ඇති ගැටලුවක් නොවෙයි. තාක්ෂණික ක්ෂේත්රය ඉදිරියට ගෙන යන්නේ කොහොමද?
පිළිතුර:
ඇත්ත ප්රශ්නය වෙන්නේ අපි මේ හදන නිපුණතා ශ්‍රම බලකාය මොන මට්ටමේද ඉන්නේ? ඔවුන් ඉන්නේ මධ්‍යම මට්ටමේ. මේ රැකියා අර්බුදය මතු වී තිබෙන්නේ එතැනයි. එතනින් ඉහළ ක්ෂේත්රයට ගියොත් රැකියා අවස්ථා තවත් වර්ධනය වෙනවා. රාජ්‍ය අංශයෙන් රැකියා අවස්ථා විශාල වශයෙන් වර්ධනය වෙනවා. ව්‍යාපාරික ක්ෂේත්රය ගත්තත් දේශීය කර්මාන්තයට නිපුණයින්ගේ අවශ්‍යතාව තිබෙනවා. අපි සම්පූර්ණයෙන් මේ පද්ධතිය වෙනස් කළොත් මම හිතන්නේ ඒ වෙනස ඇති කරගන්න පුළුවන්. මේ අභියෝගය අපට තිබෙනවා.
අප AI පුහුණු මධ්‍යස්ථානයක් පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. සිංගප්පූරුවත් සමඟ ඒකාබද්ධතාවෙන් විජේරාමේ AI මධ්‍යස්ථානයක් පිහිටුවීමට අප බලාපොරොත්තු වෙනවා. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේදී සම්මත කර ගන්න හැකි වේවි. අපි විශ්වාස කරනවා මේ නිපුණතාව මෙතැනින් ඉහළට ගෙනහින් තමයි අපිට මේ අර්බුදයට විසඳුම් හොයන්න වෙන්නේ. ඒ වගේමේ BPO වැනි ආයතන සමඟ මාර්ගගත වැඩ කිරීමේ රටාව තවදුරටත් වැඩි කිරීම, ජාත්‍යන්තර අවස්ථා නිර්මාණය කර ගැනීම ආදි ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ අපි අවධානය යොමු කර තිබෙනවා. එමඟින් මීට පිළිතුරු ලබා ගන්න හැකි වේවි.
උපාධි පාඨමාලා පවා තවත් ඉහළට යා යුතුයි. ආරම්භයේදී අපට අවශ්‍ය වන IT ඉංජිනේරුවා මේ තමයි. හැබැයි IT ක්ෂේත්රය මේ වන විට විශාල ලෙස වර්ධනය වීමට සාපේක්ෂව අපට අවශ්‍ය වන නිපුණතාව සහිත උපාධිධරයා නිර්මාණය කිරීමට අප අසමත් වී තිබෙනවා. ඒ නිසා අපේ IT ක්ෂේත්රය ලේයර් දෙක තුනකින් ඉහළට යා යුතුයි. ඒක තමයි තිබෙන එකම විසඳුම.
ප්රශ්නය :
ජනාධිපතිතුමා, මැදපෙරදිග අර්බුදයත් එක්ක අපිට පැමිණි ගැටලු හමුවේ දැනට ඩීසල් සඳහා සහනාධාරයක් ලබා දෙනවා. මැදපෙරදිග යුද්ධය තවත් ඇදී ගියහොත් අපි අවුරුදු දෙකක් වුවත් මේ සහනාධාරය දෙනවද? නැත්නම් ඉලක්කගත ආර්ථික උත්තේජකයක් වෙත යනවාද?
පිළිතුර :
මැදපෙරදිග යුද්ධය ආරම්භ වූ පසුව අපට තිබූ ප්‍රධානම අභියෝගය වුණේ ඉන්ධන, විදුලිය සහ ගෑස් ඇතුළු බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමයි. ලෝකයේ බොහෝ රටවල මෙම අඛණ්ඩතාව බිඳ වැටීමෙන් සමාජ නොසන්සුන්වීම් ඇති වූ අතර, අප එම අඛණ්ඩතාව තහවුරු කිරීමට සාර්ථකව කටයුතු කළා. මෙම යුද්ධය කොපමණ කාලයක් ඇදී යයිද යන්න කිසිදු දර්ශකයකින් පුරෝකථනය කළ නොහැකියි.
දැවැන්ත ආර්ථික අර්බුදයකින් සහ ව්‍යාපාර බිඳ වැටීමකින් පසු නැගී සිටින අපගේ ආර්ථිකයට සහ සමාජ ජීවිතයට තවත් විශාල කම්පනයක් දරාගත නොහැකි නිසයි අපි දිට්වා සහනාධාර පැකේජයක් ලබා දුන්නේ. එහි ප්‍රතිඵලයක් ලෙස පළමු කාර්තුවේදී 5.2%ක ආර්ථික වර්ධන වේගයක් ලබාගැනීමට අපට හැකි වුණා.
මුල් මාස පහ තුළ ඩීසල් ලීටරයකට රුපියල් 100ක සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක සහනාධාරයක් ලබා දීමට රුපියල් බිලියන 60ක් වැය කළා. සැප්තැම්බර් මාසයේ සහනාධාරය නොදුන්නද, නැවත තත්ත්වය උත්සන්න වීම නිසා ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් දක්වා ඩීසල් ලීටරයකට රුපියල් 70ක සහනාධාරයක් ලබා දෙන අතර ඒ සඳහා රුපියල් බිලියන 41ක් වැය වෙනවා.
සහනාධාරය යා යුත්තේ ගොවිතැනට ගන්නා ට්‍රැක්ටරයට හෝ පාන් බෙදාහරින වෙළෙන්දාට වැනි ඉලක්කගත ප්‍රජාවටයි. එහෙත් සෘජු දත්ත පද්ධතියක පවතින දුබලතාව නිසා සමස්ත සහනාධාරයක් දීමට සිදු වී තිබෙනවා. ඉදිරියේදී ඩයලොග් සහ මොබිටෙල් සමාගම් සමඟ සාකච්ඡා කර ඉලක්කගත ප්‍රජාවට පමණක් සහනාධාරය ලබාදෙන ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කරනවා.
පෞද්ගලික අංශය තරගකාරීත්වයට කැඳ වූ එහෙත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) ලබා දෙන මිලට ඉන්ධන ලබා දීමට පෞද්ගලික සමාගම් කටයුතු කර නැහැ. CPC ආයතනය රුපියල් බිලියන 28ක ලාභයක් ලබමින් එම ලාභයේ පංගුවක් ජනතාවට සහනයක් ලෙස ලබා දීමට සූදානම් වුවද, පෞද්ගලික සමාගම් තෙල් ගබඩාවල තබාගෙන බෙදා හැරීම සීමා කර තිබෙනවා. ඩීසල් ලීටරයක රුපියල් 132ක මිල වෙනසක් ජනතාව පිට පැටවීම සාධාරණ නැහැ.
එම නිසා, පෞද්ගලික සමාගම් සීමා කර ඇති ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් CPC හරහා අලුතින් පෙට්‍රල් ෂෙඩ් 75ක් ආරම්භ කිරීමට අප තීරණය කර තිබෙනවා. රටේ සමාජ සහ ආර්ථික පැවැත්මට බලපාන බලශක්ති ක්ෂේත්රය අවිනිශ්චිතතාවකට ලක් කිරීමට හෝ ඉන්ධන බෙදාහැරීම නැවැත්වීමට කිසිදු සමාගමකට අයිතියක් නැහැ. පෞද්ගලික ව්‍යවසායකයින්ට ලාභය මෙන්ම සමාජ සාධාරණත්වය පිළිබඳ හැඟීමක්ද තිබිය යුතුයි.
ප්රශ්නය:
රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනේ අවසන් මාස හයට පැමිණ තිබෙනවා. ණය ප්‍රතිව්‍යූහගත කිරීමෙන් පසුව මෙම වැඩසටහනට යාමෙන් වාසි රැසක් ලැබුණද, ඉදිරියට අලුත් IMF වැඩසටහනකට යාම පිළිබඳ රජයේ අදහස කුමක්ද?
පිළිතුර:
ශ්‍රේණිගත කිරීම්වල (ratings) ඉහළට පැමිණියද, විදේශ සංචිත තවදුරටත් අපේක්ෂිත මට්ටමට වර්ධනය කරගත යුතුව තිබෙනවා. මේ සාධක පරිපූර්න කර ගත හැකි නම් අපට යා හැකියි. එහෙත් ලෝකයේ පවතින අවිනිශ්චිතතාව හමුවේ ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසරේ ඉන්ධන ආනයන වියදම ඩොලර් මිලියන 4042ක් වූ අතර, මෙම වසරේ මුල් මාස අට තුළදී පමණක් එය ඩොලර් මිලියන 4082ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම ප්‍රවණතාව අනුව වසර අවසානයේ ඉන්ධන සඳහා ඩොලර් බිලියන 6ක් පමණ වැය වීමට ඉඩ ඇති අතර, එය ආර්ථිකයට දැරීමට සිදු වන විශාල අභියෝගයක්.
IMF සමඟ පැවති පළමු විස්තීරණ ණය පහසුකම් (EFF) අවුරුදු හතරේ වැඩසටහනේ මූලික ඉලක්කය වූයේ ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගැනීමයි. එම ස්ථාවරත්වය සාර්ථකව ළඟා කරගෙන ඇති අතර, ඊළඟ පියවර වන්නේ එම ස්ථාවරත්වය ආරක්ෂා කරගනිමින් ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීමයි. එම වර්ධනය සඳහා අලුත් එකඟතාවකට යා හැකි නම් අපි යන්න සූදානම්.
රජයේ ආර්ථික දැක්ම සහ IMF එකඟතාවයන් අතර විශාල පරස්පරතාවයක් නොතිබූ බැවින් ගැටුමකින් තොරව වැඩසටහනේ වසර 4 සාර්ථකව අවසන් කිරීමට හැකි වුණා. ඉදිරි වැඩසටහන කුමන ආකාර විය යුතුද යන්න පිළිබඳව මුදල් අමාත්‍යාංශය, මහ බැංකු අධිපති ඇතුළු ආර්ථික ක්ෂේත්රයේ විද්වතුන් කණ්ඩායමක් සාකච්ඡා කරමින් සිටිනවා. ඉතිරිව පවතින මාස හයක කාලය තුළ බාහිර ආර්ථික කම්පනද සැලකිල්ලට ගනිමින් සුදුසු තීරණයකට එළැඹීමට නියමිතව තිබෙනවා.
ප්රශ්නය:
මෙතන විදේශීය ආයෝජකයින්, දේශීය හා විදේශීය තානාපතිවරුන්, අපේ ව්‍යාපාරික ප්‍රජාව, වාණිජ මණ්ඩල සාමාජිකයන් සහ රජයේ නිලධාරීන් විශාල පිරිසක් ඉන්නවා. ඔබතුමා අපිට දෙන අවසාන පණිවිඩය මොකක්ද?
පිළිතුර :
අපි රට ඇතුළේ අවශ්‍ය වන විනිවිදභාවය හදලා තියෙනවා; ඒක තමයි පළමු පියවර. දෙවෙනි පියවර විදිහට ආයෝජන සහ ව්‍යාපාරික සුරක්ෂිතභාවය සහ රැකවරණය සඳහා අවශ්‍ය වෙන නීති රෙගුලාසි සම්පාදනය කිරීම සැලකිය යුතු ප්‍රමාණයකින් අවසන් අදියරේ පවතිනවා. එමෙන්ම ආයෝජනයන් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් අපි වර්ධනය කරමින් සිටිනවා..
රජයට පැවරී තිබෙන කාර්යයන් වන්නේ විනිවිදභාවය ඇති කිරීම, නීති රෙගුලාසි සම්මත කර දීම සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමයි. ඒ නිසා අපි අපේ වැඩ කොටස කරන්නම්; ඔබතුමන්ලා ඔබතුමන්ලාගේ වැඩ කොටස කරන්න.
පසුගිය කාලයේ S-VAT (එස්වැට්) ඉවත් කිරීම පිළිබඳව යම් සැකයක් සහ ප්‍රශ්න කිරීම් තිබුණා. එහෙත් එස්වැට් නිසා මසකට රුපියල් බිලියන 10ක කාන්දු වීමක් සිදුවෙමින් පැවති අතර, එය සාර්ථකව පාලනය කිරීමට හැකි වී තිබෙනවා.
අපිට අවශ්‍යයි ශ්‍රී ලංකාව තුළ විදේශීය ආයෝජන සහ ජාත්‍යන්තර විශාල සමාගම් සමඟ සාර්ථකව සහසම්බන්ධ විය හැකි ශක්තිමත් දේශීය ව්‍යාපාරික කණ්ඩායමක් සහ ව්‍යවසායකයින් නිර්මාණය කරන්න. අපගේ අයවැයෙන්ද ඒ පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවලට යන්නේ නම්, ඉඩම් සහ සමහර සේවාවන් සඳහා සහනශීලී ක්‍රමයක් ලබා දීමට සූදානම්.
එමෙන්ම වරාය, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රය, පෝට් සිටි (Port City) සහ සංචාරක කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක යටිතල පහසුකම් වර්ධනය වෙමින් නව ආර්ථික අවස්ථා නිර්මාණය වෙනවා. ඔබ හැමදෙනාම බය නැතුව ආයෝජනය කරන්න. ඒ සඳහා අවශ්‍ය රැකවරණය සහ විශ්වාසය අපි ලබා දෙනවා. අවසන් වශයෙන් ඔබගෙන් කරන්න තිබෙන ඉල්ලීම එයයි. බොහොම ස්තුතියි!
















