2024 වර්ෂයේ ජන හා නිවාස සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටි ජනගහනය 3,921,124ක් වන බවත්, එය සමස්ත ජනගහනයෙන් 18.002%ක් වන බවත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පැවසීය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධනුෂ්ක රංගනාත් මහතා යොමු කළ ප්‍රශ්නයකට පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම වැඩිහිටි ජනගහනයෙන් 1,712,535ක් පුරුෂයන් වන අතර, 2,208,589ක් ස්ත්‍රීන් වන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව වැඩිහිටි ජනගහනයෙන් 43.67%ක් පුරුෂයන් වන අතර 56.33%ක් ස්ත්‍රීන් වේ.
2000 අංක 9 දරන වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත යටතේ 2002 වර්ෂයේ ජූනි මාසයේදී ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය සහ ජාතික සභාව පිහිටුවා ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.
වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ඔවුන්ගේ සුබසාධනය තහවුරු කිරීම සහ අවශ්‍ය සේවා සැපයීම සඳහා මෙම ආයතන කටයුතු කරන බවත්, වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම හා නියාමනය කිරීම, වැඩිහිටි දිවා මධ්‍යස්ථාන සඳහා සහාය ලබා දීම සහ වැඩිහිටි කමිටු සවිබලගැන්වීම ඒ අතර ප්‍රධාන වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 වර්ෂයේදී වැඩිහිටි හැඳුනුම්පත් 44,899ක් නිකුත් කර ඇති අතර, 2026 වර්ෂය තුළ හැඳුනුම්පත් 45,000ක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එමෙන්ම, 2026 වර්ෂයේදී වැඩිහිටි නිවාස 25ක අලුත්වැඩියා කටයුතු සහ උපකරණ සැපයීම වෙනුවෙන් ප්‍රතිලාභීන් 500කට සහාය ලබා දීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.













