‘සිරිලිය සවිය’ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශිරන්ති රාජපක්ෂ මෙම අවස්ථාව වන විට විවෘත හදවත් සැත්කමකට භාජනය වෙමින් සිටින්නේ දැයි සොයා බලා අද සවස 02.00ට පෙර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද (13) බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේ ය.
මහේස්ත්රාත්වරයා මෙම නියෝගය කළේ ‘සිරිලිය සවිය’ ගිණුම තුළ සිදුවූ බව කියන මුදල් අක්රමිකතා චෝදනාවට අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව අද කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණයේදී කැඳවනු ලද අවස්ථාවේදී.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමක් සිදු නොවීය.
ඇය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණයට දැනුම් දුන්නේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (12) බන්ධනාගාරයේ සිටිය දී හදිසි හෘදයාබාධයකට ලක්වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හෘද සැත්කම් අංශයට ඇතුළත් කර ඇති බවයි. මේ වන විට ඇය විවෘත හෘද සැත්කමකට භාජනය කරමින් සිටින බව ද නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
“මෙම තත්ත්වය සූවිශේෂි කරුණක් සේ සලකා ඇයට ඇප නියම කරන ලෙස” ද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ පවසා සිටියේ, සැකකාරිය ඊයේ (12) දින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව සැබෑවක් වුවත් ඇයව සැත්කමකට භාජනය කිරීමට අදාළව කිසිදු තොරතුරක් බන්ධනාගාර නිලධාරීන්ට වාර්තා වී නොමැති බවයි.
පැමිණිල්ල සහ විත්තිකාර පාර්ශ්වය අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා, මෙම නඩුව අද දින පස්වරු 02.00ට යළි කැඳවීමට නියෝග කළ අතර, අද දිනයේ දී ශිරන්ති රාජපක්ෂ විවෘත හදවත් සැත්කමකට භාජනය කරමින් පවතින්නේ ද ? යන කරුණු තමන්ට වහාම පරීක්ෂා කර දැනුම් දෙන ලෙස බන්ධනාගාර නිලධාරින්ට නියෝග කළේය.
















