අද (07) උදෑසන අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගන්නා ලද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය මේ මස 13 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද 07) නියෝග කළේය.
වෛද්‍ය ප්‍රතිකාර සඳහා සැකකාර රාජපක්ෂ මහත්මිය කොළඹ නවලෝක රෝහල වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් මෙහිදී මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා ය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළා ය.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගැනීමේ හේතු පැහැදිලි කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම අද (07) නිල නිවේදනයක් නිකුත් කළේය. එම නිල නිවේදනයේ මෙසේ සඳහන් වේ.
“සිරිලිය සවිය සංවිධානය හරහා රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පරිගණකගත ටොමෝග්‍රැෆි ස්කෑනර් යන්ත්‍රයක් (CT ස්කෑන් යන්ත්‍රයක්) ලබාදෙන බවට සඳහන් කර, ඒ සඳහා රු.10,000,000 /- (රුපියල් මිලියන 10 ) මුදලක් ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙතින් ලබාගෙන එම මුදලින් රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පරිගණකගත ටොමෝග්‍රැෆි ස්කෑනර් යන්ත්‍රයක් (CT ස්කෑන් යන්ත්‍රයක්) ලබා නොදී එම රජයේ මුදල් සාපරාධී සාවද්‍ය ලෙස පරිහරණය කිරීමෙන් දූෂණය නැමැති වරද සිදුකිරීම හා පොදු දේපල පනත යටතේ වන වැරදි සිදු කිරීම යන චෝදනා මත මේරි ලූඩ්ස් ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ යන අය 2026.10.07 වන දින පෙ.ව.9.56 ට පමණ කිරුළපන, පූර්වාරාමයේ පිහිටි නිවසේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
මේ අතර අද (07) උදෑසන අල්ලස් කොමිෂමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපතිවරයෙකු වන ප්‍රදීප් කාරියවසම් මහතා රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කළා ය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළා ය.













