
දිවයින පුරා පිහිටි උසස් තාක්ෂණ (ATI) ආයතනවල පවතින ගැටලු සහ ඒවා විසඳීමට අදාළ අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු අනුකාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගිය දා (සැප්. 11) රැස් විය.
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ (SLIATE) වර්තමාන ක්‍රියාකාරීත්වය, සම්පත් පරිහරණය, ශිෂ්‍ය රඳවා ගැනීම සහ රැකියා වෙළඳපොළේ අවශ්‍යතා සමග පාඨමාලා ගැළපීම පිළිබඳ සොයා බැලීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) විසින් මෙම අනුකාරක සභාව පත් කරන ලදී.
පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතාගේ සභාපතිත්වයෙන් පැවති රැස්වීමේදී ATI ආයතන මුහුණ දෙන ප්‍රධාන ගැටලු සහ ඉදිරි සංවර්ධනය සඳහා වන යෝජනා පිළිබඳව සාකච්ඡා කෙරිණි.
මෙහිදී SLIATE පද්ධතිය සතු සම්පත් ප්‍රමාණවත් ලෙස භාවිතයට නොගැනීම, යල් පැන ගිය යටිතල පහසුකම් හා තාක්ෂණික උපකරණ, ආචාර්යවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු මෙන්ම වැටුප් හා දීමනා විෂමතා පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී .
එමෙන්ම ඇතැම් ATI ආයතනවල පරිපාලන ගැටලු සහ ශිෂ්‍ය දේශක අනුපාතය ඉහළ මට්ටමක පැවතීම, නේවාසික පහසුකම් හිඟය, ජීවන වියදම සහ ශිෂ්‍ය සුබසාධන ගැටලු හේතුවෙන් සිසුන් පාඨමාලා අතහැර යාම ආදී ගැටලු පිලිබදව එම ආයතනවල සිසුන් සහ නිලධාරීන් කාරක සභාවට කරුණු දැක්වුහ.
රැකියා වෙළඳපොළ තුළ HND සුදුසුකම් සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව ද එම ආයතන කාරක සභාවේ අවධානයට යොමු කල අතර, HND පාඨමාලා උපාධි මට්ටම දක්වා උසස් කිරීම, විෂය නිර්දේශ යාවත්කාලීන කිරීම, කර්මාන්ත ක්ෂේත්රය සමඟ සම්බන්ධතා ශක්තිමත් කිරීම සහ යටිතල පහසුකම් නවීකරණය කිරීම ඇතුළු යෝජනා ද එම ආයතන විසින් ඉදිරිපත් කරන ලදී.
පාර්ලිමේන්තු මන්ත්‍රී ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.















