සැප්තැම්බර් මාසයේ ඉන්ධන මිල සංශෝධනය ගැන බලශක්ති අමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල යළි ඉහළයාම සැලකිල්ලට ගෙන සැප්තැම්බර් මාසයේ දී ඉන්ධන මිල සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

අද (20) ගාල්ල ප්‍රෙද්ශයේ පැවති වැඩසටහනකදී අදහස් දක්වමින් බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේවනවිටත් ඉන්ධන මිල ඉහළ අගයක පවතින බැවින් තවදුරටත් මිල ඉහළයාමක් ජනතාවට දැරිය හැකිද යන්න පිළිබඳව සාකච්ඡාවක් රජය තුළ පවතින බවයි.

මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරමින් බලශක්ති අමාත්‍යවරයා මෙසේද පැවසුවේය, “මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල විශාල වශයෙන් ඉහළ ගිය බව කවුරුත් දන්නවා. නමුත් පසුගිය මාර්තු. අප්‍රේල් මාසයේ ඒ ප්‍රමාණයට නොවුණත් යම් ප්‍රමාණයකට දේශීය වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ දැමීමට අපට සිදු වුණා. ඒ වගේම ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩු වූ පසු දේශීය වෙළෙඳෙපාළේ ඉන්ධන මිල අඩු කිරීමට අපි කටයුතු කළා.

නමුත් අවාසනාවට යුද්ධයේ තීව්‍රරතාව වෙනස් වීම නිසා ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ ගොස් තිබෙනවා. අපි සාමාන්‍යයෙන් කටයුතු කරන්නේ සෑම මාසයකම අවසාන භාගයේ දී, ඒ මාසයේ ඉන්ධවල සාමාන්‍ය අගය සලකා බලා, ඉන්ධන ආනයනයේ දී කොපමණ මිලක් වැය වුණා ද කියා සලකා බලා තමයි අපි ඉන්ධන මිල සමාලෝචනය කරන්න‍ේ.

සැප්තැම්බර් මාසය අවසානයේදීත් මේ සමාලෝචනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. නමුත් අපි විශ්වාස කරනවා අපේ ඉන්ධන මිල සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ තිබෙන්නේ. ඒ නිසා තව දුරටත් ඉන්ධන මිල ඉහළ යාමක් ජනතාවට දරා ගන්න පුළුවන් ද කියන සාකච්ඡාව ආණ්ඩුව තුළ තිබෙනවා.

ඒ වගේම මෙතන ගැටලුව වෙලා තියෙන්නේ ඉන්ධන බෙදා හරින පුද්ගලික සමාගම් කිහිපයකටයි. තව දුරටත් පාඩුව දරා ගන්න නොැකි කියලා ඔවුන් කියනවා. විශේෂයෙන් ඔවුන් ඩීසල්  වෙළෙඳපොළට නිකුත් කිරීම සීමා කරලා තියෙන්නේ. ඒ අනුව නීතිමය හැකියාවන් පිළිබඳව සොයා බලලා, කිසියම් ඉහළ සහ පහළ සීමාවන් ඇතුළත ඒ සමාගම්වලට තමන්ගෙම මිලකට ඉන්ධන අලෙවි කිරීමට අවස්ථාව ලබාදීමට පුළුවන් ද කියලා අපි සොයා බලනවා” අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website