සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වෛද්‍ය පරීක්ෂණ මිල ගණන් පිළිබඳ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් පැහැදිලි කිරීමක් කර ඇත.
අධිකාරියේ නිල ෆේස්බුක් පිටුවේ පළ වූ එම නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.
සමාජ මාධ්‍ය ඔස්සේ මේ වන විට සංසරණය වන FBC, FBS, RBS, HbA1C, Lipid Profile, LFT, RFT, Dengue NS1, UFR, CRP, CT, MRI, Ultrasound, Mammogram සහ DEXA ඇතුළු වෛද්‍ය පරීක්ෂණ රැසක මිල ගණන් සඳහන් දැන්වීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කරන ලද නිල දැන්වීමක් නොවන බව මහජනතාව වෙත දැනුම් දෙමු.
එම දැන්වීමේ සඳහන් සියලුම වෛද්‍ය පරීක්ෂණ සඳහා එහි දැක්වෙන මිල ගණන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් පත්‍ර මඟින් නියම කරන ලද උපරිම මිල ගණන් ලෙස වැරදි අවබෝධයක් ඇතිකර නොගන්නා ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටිමු.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් මඟින් නියම කර ඇති වෛද්‍ය පරීක්ෂණ උපරිම ගාස්තු
FBC – සම්පූර්ණ රුධිර ගණන පරීක්ෂණය – එක් පරීක්ෂණයක් සහ වාර්තාවක් සඳහා උපරිම ගාස්තුව — රු.400/-
Dengue NS1 Antigen – ඩෙංගු NS1 ප්‍රතිදේහජනක පරීක්ෂණය – එක් පරීක්ෂණයක් සහ වාර්තාවක් සඳහා උපරිම ගාස්තුව — රු.1,200/-
මෙම උපරිම ගාස්තු 2020.07.29 දිනැති අංක 2186/17 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති නියෝග අංක 67 මඟින්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 20(5) වගන්තිය යටතේ නියම කර ඇත.
COVID-19 PCR පරීක්ෂණය – එක් පරීක්ෂණයක් සහ වාර්තාවක් සඳහා උපරිම ගාස්තුව — රු.6,500/-
COVID-19 Rapid Antigen Test (RAT) – එක් පරීක්ෂණයක් සහ වාර්තාවක් සඳහා උපරිම ගාස්තුව — රු.2,000/-
මෙම උපරිම ගාස්තු 2021.08.12 දිනැති අංක 2240/30 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති නියෝග අංක 75 මඟින්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 20(5) වගන්තිය යටතේ නියම කර ඇති අතර, එම නියෝගය 2021 අගෝස්තු 12 දින සිට බලපැවැත්වෙන බව ගැසට් පත්‍රයේ සඳහන් වේ.
සංසරණය වන දැන්වීම සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය යොමු කරන්න
එම දැන්වීමේ සඳහන් FBS, RBS, HbA1C, Lipid Profile, LFT, RFT, UFR, CRP, CT Scan, MRI Scan, Ultrasound Scan, Mammogram සහ DEXA Scan සඳහා දක්වා ඇති මිල ගණන්, ඉහත සඳහන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නියෝග අංක 67 හෝ නියෝග අංක 75 මඟින් නියම කරන ලද උපරිම ගාස්තු නොවේ.
එබැවින් එම සියලු මිල ගණන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියම කර ඇති බවට අර්ථකථනය කිරීමෙන් වළකින්න.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා කාර්යාල වේලාවන් තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 කෙටි දුරකථන අංකය අමතන්න.















