ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසියේ මාධ්‍ය කොට්ඨාශය විසින් සම්පූර්ණ පැහැදිලි කිරීමක් කර ඇත. පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ නිල ෆේස්බුක් පිටුවෙන් උපුටා පත් එම වාර්තාව සම්පූර්ණයෙන්ම පහත පළ වේ.
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්ෂණ සංගමය සහ රක්ෂණ කර්මාන්තයේ අනෙකුත් පාර්ශවකරුවන් එක්ව ගනු ලැබූ තීරණයකට අනුව 2026 මැයි 01 දින සිට රක්ෂණ ආයතන මඟින් මෝටර් රථ රක්ෂණ සහතික පත්‍ර වෙනුවට, ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් (Digital Motor Insurance Cards) නිකුත් කිරීමට තීරණය කර ඇත.
එසේම, කෘෂිකර්‌ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්‌ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන 1999 අංක 20 දරන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ පනත මගින් ස්ථාපිත කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන රථවාහන රක්ෂණය සඳහා ද 2026 ජූලි මස 20 දින සිට ඩිජිටල් රක්ෂණ කාඩ්පතක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් පොලිස්පතිතුමාගේ විශේෂ අවධානය යොමු වීමෙන් පසු දිවයින පුරා පිහිටි සියලුම පොලිස් ස්ථාන වෙත අවශ්‍ය නියෝග සහ උපදෙස් මේ වන විටත් ලබා දී ඇත.
මේ සඳහා සමස්ත මහජනතාවගේ උපරිම දැනුවත්භාවය අත්‍යවශ්‍ය වන බැවින් මේ පිළිබඳව පුළුල් සමාජ දැනුවත්භාවයක් ඇති කිරීමේ අරමුණින් මෙම විශේෂ නිවේදනය නිකුත් කරනු ලබයි.
ඩිජිටල් මෝටර් රක්ෂණාවරණ ලබා දෙන ආකාරය.
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්ෂණ සංගමය සහ රක්ෂණ කර්මාන්තයේ අනෙකුත් පාර්ශවකරුවන් රක්ෂණාවරණ ලබා දෙන ආකාරය
- ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත (Digital Motor Insurance Card)
- මුද්‍රිත සහතිකයක් (රක්ෂණ හිමියාගේ ඉල්ලීම මත පමණක්)
- රක්ෂණ සමාගම මඟින් රක්ෂණ හිමියාට ජංගම දුරකථන යෙදුමක් මඟින් (Phone App) ලබාදෙන ඩිජිටල් රක්ෂණ කාඩ්පත.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ඩිජිටල් මෝටර් රථ රක්ෂණාවරණ ලබා දෙන ආකාරය
- ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත (Digital Motor Insurance Card)
- මුද්‍රිත සහතිකපත් (රක්ෂණ හිමියන්ගේ ඉල්ලීම අනුව)
- කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් රක්ෂණ හිමියාගේ ජංගම දුරකථනය වෙත ලබා දෙනු ලබන QR කේතයක් හා URL ලිපිනයක් මඟින් ලබා දෙනු ලබන ඩිජිටල් රක්ෂණ කාඩ්පත.
ඩිජිටල් මෝටර් රථ රක්ෂණ ක්‍රමය හඳුන්වා දීමට සමගාමීව ජාතික රක්ෂණ සත්‍යාපන පද්ධතිය (National Insurance Verification System) හඳුන්වා දී ඇති අතර, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් කෘෂිරක්ෂණ ඔප්පු සත්‍යාපන පද්ධතිය හඳුන්වා දී ඇත. එයට පහත සඳහන් ක්‍රම මඟින් ප්‍රවේශ විය හැක. මෙමඟින් මෝටර් රථ රක්ෂණයේ වලංගුභාවය පරීක්ෂා කිරීමේ හැකියාව ඇති බව දන්වා ඇත.
ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පතෙහි වලංගුතාවය පරීක්ෂා කිරීම
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්ෂණ සංගමය සහ රක්ෂණ කර්මාන්තයේ අනෙකුත් පාර්ශවකරුවන් රක්ෂණාවරණ – වලංගුතාවය පරීක්ෂා කිරීම
i). USSD Code : *1338# ඔස්සේ පහත පියවර අනුගමනය කළ හැකි බව දැනුම් දී ඇත.
• ඕනෑම ජංගම දුරකථන සම්බන්ධතාවක් මඟින් *1338# අංකයට ඇමතීම.
• වාහන අංකය හෝ රක්ෂණ සහතික අංකය ඇතුළත් කිරීම.
• අදාල රක්ෂණ ඔප්පුවෙහි වත්මන් තත්ත්වය (Active Status) ක්ෂණිකව ලබාගත හැකි බව සඳහන් කර ඇත.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ඩිජිටල් මෝටර් රථ රක්ෂණාවරණ – වලංගුතාවය පරීක්ෂා කිරීම
ii). USSD කේතය *1918# ඔස්සේ පහත පියවර අනුගමනය කළ හැකි බව දැනුම් දී ඇත.
• ඕනෑම ස්මාට් ජංගම දුරකථනයක් මඟින් *1918# අංකය ඇමතීම
• වාහන අංකය හෝ රක්ෂණ ඔප්පු අංකය ඇතුළත් කරන්න.
• අදාල රක්ෂණ ඔප්පුවේ වත්මන් තත්ත්වය (Active Status) ක්ෂණිකව ලැබෙනු ඇත.
කෙටි පණිවිඩ සේවාව
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්ෂණ සංගමය සහ රක්ෂණ කර්මාන්තයේ අනෙකුත් පාර්ශවකරුවන් රක්ෂණාවරණ – කෙටි පණිවිඩ සේවාව
SMS : 1338 කෙටි පණිවිඩ සේවාව.
• ඕනෑම ජංගම දුරකථනයක් මඟින් වාහන අංකය හෝ රක්ෂණ පත්‍ර අංකය කෙටි පණිවිඩයක් මඟින් 1338 වෙත යොමු කල හැක.
• එවිට රක්ෂණ ඔප්පුව සක්‍රීයව වලංගුව (Active) පවතින්නේ ද යන්න කෙටි පණිවිඩයක් මඟින් ක්ෂණිකව පිළිතුරු ලබා ගැනීමට හැකියාව ඇති බව දන්වා ඇත.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ඩිජිටල් මෝටර් රථ රක්ෂණාවරණ – කෙටි පණිවිඩ සේවාව
SMS 1918 කෙටි පණිවිඩ සේවාව
• ඕනෑම ජංගම දුරකථනයක් මඟින් වාහන අංකය හෝ රක්ෂණ ඔප්පු අංකය කෙටි පණිවිඩයක් මඟින් 1918 වෙත යොමු කරන්න.
• රක්ෂණ ඔප්පුව සක්‍රීයව වලංගුව (Active) පවතින්නේ ද යන්න කෙටි පණිවුඩය මඟින් ක්ෂණිකව පිලිතුරු ලැබේ.
ක්ෂණික දුරකථන අංක සඳහා ඇමතීම
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්ෂණ සංගමය සහ රක්ෂණ කර්මාන්තයේ අනෙකුත් පාර්ශ්වකරුවන් රක්ෂණාවරණ – ක්ෂණික දුරකතන අංකයට ඇමතීම.
ක්ෂණික දුරකථන අංකය වන 1338 අංකයට ඇමතීම.
• ඇමතුම ලබා ගත් පසුව ලැබෙන උපදෙස් අනුව අදාල රක්ෂණ ආයතනය තෝරා ගන්න.
• එවිට අදාල රක්ෂණ සමාගමේ පාරිභෝගික සේවා අංශය වෙත යොමු වේ.
• අදාල රක්ෂණ සමාගම වෙත රක්ෂණ ඔප්පුවේ අංකය හෝ වාහන අංකය ලබා දෙන්න.
• ඔවුන් විසින් රක්ෂණයේ වලංගුභාවය තහවුරු කරනු ඇත.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ඩිජිටල් මෝටර් රථ රක්ෂණාවරණ – කෙටි පණිවිඩ සේවාව
ක්ෂණික දුරකථන අංකය වන 1918 අංකයට ඇමතීම
• ඇමතුම ලබා ගත් පසු ලැබෙන උපදෙස් වලට අනුව පාරිභෝගික සේවා අංශය තෝරා ගැනීම.
• එවිට පාරිභෝගික සේවා අංශයේ නිලධාරියකු ඔබ වෙත සම්බන්ධ වනු ඇත.
• අදාල පාරිභෝගික සේවා නිලධාරියා වෙත රක්ෂණ ඔප්පුවේ අංකය හෝ වාහන අංකය ලබා දීම.
• ඔවුන් විසින් රක්ෂණයේ වලංගුතාවය සහ අවශ්‍ය තොරතුරු ලබාදෙනු ලබයි.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ඩිජිටල් මෝටර් රථ රක්ෂණාවරණයට අදාළව QR කේතය ස්කෑන් කිරීම (QR Code Scanning)
ඩිජිටල් රක්ෂණ කඩ්පතෙහි ඇති QR කේතය ස්කෑන් කිරීම මඟින් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සජීවි දත්ත පද්ධතිය හා සම්බන්ධ වී රක්ෂණ ඔප්පුවෙහි ඇතුලත් සියලුම කරුණු තහවුරු කර ගතහැකිය.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ඩිජිටල් මෝටර් රථ රක්ෂණාවරණයට අදාළව URL ලිපිනය භාවිතය
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ දත්ත පද්ධතිය මඟින් රක්ෂණ ඔප්පුවට පිවිසිය හැකි URL ලිපිනයක්, SMS හෝ E-mail මඟින් රක්ෂිතයා වෙත ලබා දෙනු ලැබේ. එමගින් ඩිජිටල් රක්ෂණ ඔප්පුවට පිවිස වලංගුතාවය සත්‍යාපනය කල හැක.
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්ෂණ සංගමය සහ රක්ෂණ කර්මාන්තයේ අනෙකුත් පාර්ශවකරුවන් රක්ෂණාවරණයට අදාළව
*1338# මඟින් සහ SMS (කෙටි පණිවිඩ) මඟින් තොරතුරු ලබා ගැනීම සඳහා වාහන අංකය ඇතුළත් කිරීමේදී වාහන අංකයේ මුල් අකුරු හෝ ඉලක්කම්, කෙටි ඉර, අංක හතරකින් සමන්විත ඉලක්කම ඇතුළත් කළ යුතු වේ. වාහන අංකය ඇතුළත් කිරීමේදී අකුරු හෝ ඉලක්කම් අතර ඉඩ (Space) නොතැබීමෙ වේ. යම් මෝටර් වාහනයක අංකය “ශ්‍රී” වශයෙන් පවතින විට එම අක්ෂරය “SRI” ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් ඇතුළත් කිරීමට කටයුතු කල යුතු වේ.
උදා : 311-1234, CC-1234, CCC-1234, 1-SRI-1234
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ඩිජිටල් මෝටර් රථ රක්ෂණාවරණයට අදාළව
*1918# මගින් සහ SMS (කෙටි පණිවිඩ) මගින් තොරතුරු ලබා ගැනීම සඳහා වාහන අංකය ඇතුලත් කිරීමේ දි වාහන අංකයේ මුල් අකුරු හෝ ඉලක්කම්, කෙටි ඉර, අංක හතරකින් සමන්විත ඉලක්කම් ඇතුලත් කල යුතු අතර පළාත් අක්ෂර ඇතුළත් නොකල යුතුය. වාහන අංකය ඇතුළත් කිරීමේදී අකුරු හෝ ඉලක්කම් අතර ඉඩ (Space) නොතැබිය යුතුය. යම් මෝටර් වාහනයක අංකය “ශ්‍රී” වශයෙන් පවතින විට එම අක්ෂරය වෙනුවට කෙටි ඉර (-) ඇතුළත් කළ යුතුය.
උදා :- CC-1234, CCC-1234, 123-4567, 1-1234
ඉහත ක්‍රම මඟින් මෝටර් වාහනයක රක්ෂණය පරීක්ෂා කරන අවස්ථාව වන විට වලංගුව පවතින්නේ ද නැද්ද යන්න ක්ෂණිකව දැන ගත හැකි අතර කෙටි පණිවිඩ සේවාව මඟින් වඩා පහසුවෙන් මෙම තොරතුරු ලබා ගත හැකිය. 1338 සහ 1918 කෙටි දුරකථන අංකයට ලබා ගන්නා ඇමතුම් හෝ කෙටි පණිවිඩ සඳහා ගාස්තු අය කිරීමක් සිදු නොකරන බව දැනුම් දී ඇත.
එසේම, පොලිසිය විසින් සිදු කරන රිය අනතුරකට අදාල විමර්ශනයක් සඳහා රක්ෂණයේ මුද්‍රිත පිටපතක් ලබා ගැනීම අවශ්‍ය වුවහොත් ඒ සඳහා පහත පියවර අනුගමනය කළ හැකිය.
• අදාළ රක්ෂණ සමාගම මගින් රක්ෂණ සහතිකයේ මුද්‍රිත පිටපතක් ඉල්ලා සිටීම.
• කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් නම් රක්ෂණ ඔප්පු හිමියාගේ ජංගම දුරකථනය වෙත ලබා දෙන ඩිජිටල් කාඩ්පතෙහි මුද්‍රිත පිටපතක් ලබා ගැනීම.
• රක්ෂණ සමාගම් මගින් රක්ෂණ ඔප්පු හිමියා වෙත ජංගම දුරකථන යෙදවුම මගින් (App) මඟින් ලබාදෙන ඩිජිටල් කාඩ්පතෙහි මුද්‍රිත පිටපතක් ලබා ගැනීම.
• කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් නම් ඩිජිටල් රක්ෂණ කඩ්පතෙහි ඇති QR කේතය පරිලෝකනය (Scan) කිරීම මඟින් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ දත්ත පද්ධතිය හා සම්බන්ධ වී රක්ෂණ ඔප්පුවෙහි (Policy Document) පිටපතක් බාගත කරගත හැකිය.
රක්ෂණ සමාගම් මඟින් සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ඩිජිටල් රක්ෂණ කාඩ්පත් නිකුත් කිරීම ආරම්භ කළ ද තාවකාලික රක්ෂණ ආවරණ නිකුත් කිරීම තවදුරටත් සිදු කරනු ලබයි. ඉදිරියේදී තාවකාලික රක්ෂණ ආවරණ නිකුත් කිරීම නතර කිරීමට අපේක්ෂා කර ඇති අතර එතෙක් තාවකාලික රක්ෂණ ආවරණ පෙර පරිදිම වලංගුව පවතින බව තවදුරටත් දන්වා ඇත.
2026 මැයි 01 දින සිට සහ 2026 ජූලි 20 සිට ඩිජිටල් රක්ෂණ කාඩ්පත් පමණක් නිකුත් කිරීම සිදු කළ ද මේ දක්වා නිකුත් කර ඇති රක්ෂණ කාඩ්පත්වල එහි වලංගු කාලය අවසන් වන තුරු එලෙසම වලංගුව පවතී.
මෝටර් වාහන පනත 104 (I) වගන්තිය අනුව රක්ෂණ සහතිකය පරීක්ෂා කිරීම සඳහා ඉදිරිපත් කිරීමේ වගකීම රියැදුරු වෙත පැවරෙන අතර යම් රියදුරෙකු විසින් ඩිජිටල් රක්ෂණ කාඩ්පත ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ අවස්ථාවකදී ඩිජිටල් රක්ෂණ කාඩ්පතේ මුද්‍රිත ඡායා පිටපතක් ඉදිරිපත් කරන අවස්ථාවකදී, කෙටි දුරකථන අංකය භාවිතයෙන් හෝ කෙටි පණිවිඩ සේවාව මඟින් එම රක්ෂණයේ වලංගුභාවය තහවුරු කර ගැනීමට හැකියාව පවතියි.
2006 අංක 19 දරණ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ II පරිච්ඡේදයේ 3 වන වගන්තිය ප්‍රකාරව මෙම ඩිජිටල් රක්ෂණ කාඩ්පත් පිළිගැනීම, එහි බලපෑම හෝ වලංගුභාවය අහිමි කළ නොහැක.














