ගොවීන් ව්‍යවසායකයන් ලෙස සවිබල ගන්වමින් ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම අරමුණු කරගනිමින් වැඩසටහන් රැසක්
කෘෂිකාර්මික වගා කටයුතු හා සම්බන්ධ ව්‍යාපෘතිවල ප්‍රතිලාභීන් වෘත්තිමය වශයෙන් සවිබල ගන්වමින්, ඔවුන් ස්වාධීන ව්‍යවසායකයන් ලෙස ආර්ථිකමය වශයෙන් ස්ථාවර කිරීමේ අරමුණින් මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් රැසක් දිවයිනේ ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි මේ වනවිටත් ක්‍රියාත්මක කර තිබේ.
කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල (IFAD) සහ කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) යටතේ මෙම වැඩසටහන් සංවිධානය කරනු ලබයි.
ගොවීන් වෙත මූල්‍යමය හා ද්‍රව්‍යමය සම්පත් ලබාදීමෙන් ඔබ්බට ගොස්, ඔවුන්ගේ ආදායම් සහ වියදම් නිසි ලෙස කළමනාකරණය කිරීම, ඉතිරි කිරීම, ආයෝජනය කිරීම සහ සුදුසු මූල්‍ය තීරණ ගැනීම පිළිබඳ දැනුම හා අවබෝධය වර්ධනය කිරීම මෙම මූල්‍ය සාක්ෂරතා වැඩසටහන්හි ප්‍රධාන අරමුණ වේ.
එමෙන්ම, ව්‍යාපෘතිය යටතේ මූල්‍ය අවශ්‍යතා සහිතව තෝරාගනු ලබන ගොවීන් සඳහා මූල්‍ය ණය පහසුකම් සලසා දීමට ද කටයුතු කර තිබේ. මෙහිදී බැංකු ආයතන සහ ගොවීන් අතර සම්බන්ධීකාරකවරයෙකු ලෙස SARP ව්‍යාපෘතිය කටයුතු කරයි.
මේ වනවිට HNB සහ SDB බැංකු සමඟ ගිවිසුම්ගතව ගොවීන් සඳහා ණය පහසුකම් ලබාදීමට කටයුතු කර ඇති අතර, මීට අමතරව තවත් බැංකු කිහිපයක් සමඟ ද ගොවීන් සඳහා මූල්‍ය පහසුකම් සැලසීම සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකරමින් පවතී. ඒ අනුව ඉදිරියේදී එම බැංකු හරහා ද ගොවිජනතාවට අවශ්‍ය මූල්‍ය සේවා වෙත පහසු ප්‍රවේශයක් ලබාදීමට අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම සඳහා හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ හා දැනුම්වත් කිරීමේ කරුණු සමඟ සමගාමීව මෙම වැඩසටහන් ක්‍රියාත්මක වේ. මෙහිදී ගොවියා හුදු ව්‍යාපෘති ප්‍රතිලාභියෙකු ලෙස පමණක් නොව, තම ආදායම් හා ව්‍යාපාරික කටයුතු ස්වාධීනව කළමනාකරණය කළ හැකි සවිබලගැන්වූ ව්‍යවසායකයෙකු බවට පත් කිරීම ප්‍රධාන අපේක්ෂාවකි.
මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන්වලට අමතරව, ගොවීන්ට තම දෛනික ආදායම් සහ වියදම් ක්‍රමානුකූලව සටහන් කර තබාගැනීම සඳහා විශේෂ අත්පොතක් ලබාදීමට ද කටයුතු කර තිබේ. තම මූල්‍ය කටයුතු පිළිබඳ නිසි අවබෝධයක් ඇති කරගැනීමට මෙන්ම, සකසුරුවම් සහ මූල්‍යමය වශයෙන් වඩාත් වගකීම් සහගත ගොවි පිරිසක් නිර්මාණය කිරීමට මෙම වැඩපිළිවෙළ උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ගොවිජනතාවගේ ආදායම් උත්පාදන හැකියාව වර්ධනය කිරීම, මූල්‍ය කළමනාකරණ දැනුම වැඩිදියුණු කිරීම සහ ඔවුන්ගේ අනාගත ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීම තුළින්, කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර තිරසාර හා ශක්තිමත් ව්‍යාපාර බවට පත් කිරීම SARP ව්‍යාපෘතියේ පුළුල් අරමුණකි.
මෙම වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමට කැමති ගොවි මහත්ම මහත්මීන් සහ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) අමතා 011 2770986 දුරකථන අංකය ඔස්සේ වැඩිදුර තොරතුරු ලබාගත හැක.















