ලෝක බැංකු ආධාරයෙන් සුළු වාරි වැව් 296 ක් ප්‍රතිසංස්කරණයට: රුපියල් මිලියන 5,800කට අධික ආයෝජනයක්

2029 දක්වා ක්‍රියාත්මක වන දැවැන්ත කෘෂිකාර්මික යටිතල පහසුකම් ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කෘෂිකාර්මික කටයුතු සඳහා අත්‍යවශ්‍ය මෙන්ම ගොවි ජනතාවගේ ජීවනෝපායට සෘජුවම බලපාන සුළු වාරි පද්ධති ශක්තිමත් කිරීමේ දැවැන්ත වැඩසටහනක් ලෝක බැංකු මූල්‍ය සහයෝගය යටතේ ආරම්භ කර ඇත. වර්ෂ 2029 දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතිය යටතේ මේ වන විට සුළු වාරි වැව් 296 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය මගින් මෙහෙයවන ඒකාබද්ධ ග්‍රාම-නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තුදීමේ ව්‍යාපෘතිය (Integrated Rurban Development and Climate Resilience Project – IRDCRP) යටතේ ක්‍රියාත්මක වන මෙම සමස්ත වැඩසටහන සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 5,800 කට අධිකය (රු. 5,834,503,726.22). එමගින් දිවයින පුරා විවිධ ප්‍රදේශවල ගොවි ජනතාවගේ වාරි ජල අවශ්‍යතාව සපුරාලීම සහ යටිතල පහසුකම් යළි ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.

IRDCRP ව්‍යාපෘතියේ සාමාන්‍ය ප්‍රතිසංස්කරණ සංරචකය යටතේ පොළොන්නරුව, හම්බන්තොට සහ යාපනය යන දිස්ත්‍රික්ක 03 තුළ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින සුළු වාරි වැව් 06 ක් ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කර ඇති අතර, ඒ සඳහා රුපියල් 256,168,900.88 ක මුදලක් වෙන් කර ඇත.

මෙම ව්‍යාපෘතියේ විශේෂිතම අංගය වන්නේ එහි 5 වන සංරචකය ලෙස ක්‍රියාත්මක වන හදිසි අවස්ථා ප්‍රතිචාර සංරචකයයි (Emergency Response Component – CERC). දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස විනාශයට පත් වූ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 18 ක පිහිටි සුළු වාරි වැව් 290 ක් මෙම සංරචකය යටතේ හදිසි ප්‍රතිසංස්කරණයට ලක් කෙරේ. ඒ සඳහා වෙන් කර ඇති මුළු මුදල රුපියල් 5,578,334,825.34 කි.

මෙම හදිසි ප්‍රතිසංස්කරණ කටයුතු දිස්ත්‍රික්ක 18 පුරාම ව්‍යාප්ත වන අතර ප්‍රධාන වශයෙන්:

බදුල්ල දිස්ත්‍රික්කය: වැව් 97 ක්

රත්නපුර දිස්ත්‍රික්කය: වැව් 29 ක්

මන්නාරම දිස්ත්‍රික්කය: වැව් 24 ක්

කුරුණෑගල දිස්ත්‍රික්කය: වැව් 19 ක්

මහනුවර සහ වවුනියාව දිස්ත්‍රික්ක: වැව් 15 බැගින්

ඇතුළුව වඩාත් දැඩි ලෙස හානියට පත් වාරි පද්ධති යථා තත්ත්වයට පත් කිරීම කෙරෙහි මෙහිදී ප්‍රමුඛතාව ලබා දී තිබේ.

වැව්වල ජල රඳවා ගැනීමේ ධාරිතාව සහ වාරි ජලය බෙදාහැරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම තුළින් ගොවීන්ට නියමිත කාලයේදී වගා කටයුතු සඳහා විශ්වාසදායක ජල සැපයුමක් තහවුරු කිරීම. අධික වර්ෂාපතනය, ගංවතුර, නියඟය වැනි දේශගුණික අවදානම් හමුවේ වුවද අඛණ්ඩව කෘෂිකාර්මික කටයුතු පවත්වාගෙන යාමට හැකි වන පරිදි වාරි පද්ධතිවල පදනම ශක්තිමත් කිරීම.ග්‍රාමීය කෘෂිකර්මාන්තයේ ජල සුරක්ෂිතතාව තහවුරු කරමින් ගොවි ජනතාවගේ ආර්ථික මට්ටම සහ ජීවනෝපාය නංවාලීම මෙහි මූලික අරමුණු වේ.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික හා පරිපාලන දායකත්වය මෙන්ම ප්‍රාදේශීය ගොවි සංවිධානවල සක්‍රීය සහභාගීත්වය ඇතිව මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, දිස්ත්‍රික් කාර්යාල සහ ප්‍රාදේශීය ගොවිජන සේවා මධ්‍යස්ථාන ජාලය හරහා මෙම කටයුතු සම්බන්ධීකරණය කෙරේ. ඒ සඳහා ගොවිජන සංවර්ධන නියෝජ්‍ය හා සහකාර කොමසාරිස්වරුන්, ප්‍රාදේශීය ඉංජිනේරුවන්, දිස්ත්‍රික් තාක්ෂණ නිලධාරීන්, ප්‍රාදේශීය නිලධාරීන්, තාක්ෂණික නිලධාරීන් හා සහයකයින් සහ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් ක්ෂේත්‍ර මට්ටමින් සෘජුවම දායක වේ.

ලෝක බැංකු මූල්‍ය සහයෝගයෙන් ක්‍රියාත්මක මෙම දැවැන්ත ප්‍රතිසංස්කරණ වැඩසටහන මගින් ආපදා හමුවේ බිඳවැටුණු වාරි පද්ධති යළි ගොඩනංවනවා පමණක් නොව, අනාගත දේශගුණික විපර්යාසයන්ට සාර්ථකව මුහුණ දිය හැකි තිරසාර කෘෂිකාර්මික පරිසරයක් ශ්‍රී ලංකාව තුළ ගොඩනැගීමට ද මග පාදනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website