මඩකලපුව දිස්ත්‍රික් තරුණ ප්‍රජාවගේ ප්‍රතිපත්තිමය යෝජනා සෘජුවම පාර්ලි‍මේන්තු මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත් කෙරේ

විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් මඩකලපුව දිස්ත්‍රික් තරුණ ප්‍රජාව සඳහා සංවිධානය කළ “Voice to Policy” සංවාද වැඩසටහන පසුගියදා (අගෝ. 29) මඩකලපුව ඊස්ට් ලැගූන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණු අතර මෙහිදී මඩකලපුව දිස්ත්‍රික් තරුණ ප්‍රජාවගේ ප්‍රතිපත්තිමය අදහස් හා යෝජනා සෘජුවම පාර්ලි‍මේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි විය.

විවෘත පාර්ලිමේන්තු සංකල්පය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කෙරෙන වැඩමුළු මාලාවේ පළමු වැඩසටහන ගම්පහ දිස්ත්‍රික් තරුණ ප්‍රජාව වෙනුවෙන් පැවති අතර මෙම වැඩසටහන එහි දෙවැන්නයි. මෙහිදී තරුණ ප්‍රජාවට සිය අදහස්, ගැටලු සහ ප්‍රතිපත්තිමය යෝජනා සෘජුවම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ වූ අතර, වැඩමුළුව සඳහා මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරුණ තරුණියෝ සහභාගී වූහ.

මෙම අවස්ථාව සඳහා විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සම සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දන සූරියආරච්චි, නීතිඥ සුසන්ත දොඩාවත්ත, ලාල් ප්‍රේම්නාත්, සුනිල් රාජපක්ෂ, එම්.කේ.එම්. අස්ලම්, වෛද්‍ය ඉලෙයියතම්බි සිරිනාත්, අබූබකර් අතම්බාවා , ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර, මුහම්මද් ෆයිසාල්, ඥානමුත්තු ශ්‍රීනේසන් යන මත්වරු සහභාගී වූහ. 

මෙහිදී තරුණ ප්‍රජාව විසින් අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය පිළිබඳ ගැටළු, ප්‍රාථමික අධ්‍යපනය නියාමනය, තරුණයන්ගේ දේශපාලන සහභාගීත්වය පුළුල් කිරීම, වෘත්තීය පුහුණුව, රැකියා අවස්ථා, තාක්ෂණය, ව්‍යවසායකත්වය පුහුණු මධ්‍යස්ථාන ඇති කිරීම, මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම හා තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අවස්ථා බහුල කිරීම, ප්‍රශස්ථ මට්ටමේ ක්‍රීඩාංගන පහසුකම් නොමැතිකම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් සිය අදහස් හා යෝජනා සංසදය වෙත ඉදිරිපත් කරන ලදී.

විශේෂයෙන් උසස් අධ්‍යාපන පාඨමාලා සහ උපාධි සම්පූර්ණ කිරීමට ගතවන කාලය අවම කිරීම, දේශපාලනයට සම්බන්ධ වීමට අපේක්ෂා කරන තරුණයන් සඳහා වැඩි අවස්ථා නිර්මාණය කිරීම සහ තරුණ ව්‍යවසායකත්වය පුළුල් කිරීම ඇතුළු කරුණු කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.

තරුණ ප්‍රජාව විසින්ම සිය ප්‍රමුඛ ගැටලු හඳුනාගෙන, ඒවා සාකච්ඡා කර, පොදු කරුණු ලෙස වර්ගීකරණය කර ප්‍රතිපත්තිමය අවධානය යොමු විය යුතු ක්ෂේත්‍ර තෝරා ගැනීමෙන් අනතුරුව ඒවා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සමඟ සෘජු සංවාදයක් පැවැත්වීම මෙම වැඩසටහනේ විශේෂත්වයක් විය.

වැඩසටහනේදී ඉදිරිපත් වූ තරුණ යෝජනා පාර්ලිමේන්තුවේ ඉදිරි සලකා බැලීම සඳහා යොමු කිරීමට පාර්ලිමේන්තු සංසදය සිය අවධානය යොමු කළේය. එමෙන්ම, අදාළ කරුණු සම්බන්ධයෙන් තරුණ නියෝජිතයන්ට පාර්ලිමේන්තුවේ අදාළ ආංශික අධීක්ෂණ කාරක සභා සමඟ ඉදිරියේදී සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. තරුණ ප්‍රජාව විසින් ඉදිරිපත් කරන ලද ගැටළු සම්බන්ධයෙන් මේ වන විටත් රජය විසින් ගෙන ඇති පියවරයන්හි ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී මන්ත්‍රීවරු විසින් කරුණු පැහැදිලි කරන ලදී.

මෙම වැඩමුළුව සඳහා CII (Coalition for Inclusive Impact) ආයතනය අනුග්‍රාහකත්වය සපයනු ලැබීය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website