වෛද්‍ය නිලධාරීන් සඳහා අතරමැදි ශ්‍රේණියක් පිහිටුවීමේ යෝජනාව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි, වෛද්‍ය නිලධාරීන් සඳහා අතරමැදි ශ්‍රේණියක් (Intermediate Cadre) පිහිටුවීමේ යෝජනාව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන විශේෂඥ කමිටුව අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් පත් කර ඇත.

මෙම විශේෂඥ කමිටුවේ සභාපතිවරයා ලෙස සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය හසංක විජේමුණි මහතා පත්කර ඇත.

​මෙම කමිටුව මගින් අතරමැදි ශ්‍රේණිය නිවැරදිව අර්ථ දැක්වීම, ඊට ඇතුළත් කළ හැකි වෛද්‍ය විශේෂඥතා ක්ෂේත්‍ර හඳුනාගැනීම, නිලධාරීන් තෝරාගන්නා ක්‍රමවේද සකස් කිරීම සහ ඔවුන් සේවය කිරීමට අපේක්ෂිත කාලසීමාවන් තීරණය කිරීම ඇතුළු ප්‍රමුඛ කරුණු රැසක් කෙරෙහි අවධානය යොමු කරමින් ඉදිරි නිර්දේශ සකස් කිරීමට නියමිතය.

​අමාත්‍යාංශයේ සැලසුම් අංශයේ (CCP) වෛද්‍ය අමිල සුරංග මහතා ලේකම් ලෙස කටයුතු කරන මෙම කමිටුවට අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය ඩබ්ලිව්. කේ. වික්‍රමසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් II වෛද්‍ය සමින්දි සමරකෝන්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හේරත් එච්. ඩී. එන්. පී. ඕපාත සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දිලිප් ද සිල්වා යන මහත්ම මහත්මීන් සාමාජිකයින් ලෙස එක්ව සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website